Sunday, November 3, 2013

~~~~~මගේ පුංචි හත් පෙති මලට ආදරෙන්....~~~~~



"මල් පෙත්තේ.....මල් පෙත්තේ
උතුරු දෙසට, දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
ඉගිල ඉගිල මෙ'හැම දෙසට
කැරකීලා ඇවිත් ම'වෙත
ම'කියන දේ කර දෙන් මට......"

"මට මහා ගොඩාක් ආදරේ කරන, මාව ගොඩාක් හොඳින් රැක බලාගන්න හොඳම හොඳ කෙනෙක් මට ලැබෙන්න ඕන..."

පුංචි කාලෙ ආසාවෙන් කියවපු රුසියන් කථාන්තරයක සිංහල අනුවාදය "ශේන්යා සහ හත්පෙති මල ".
හත් පෙති මලේ පෙති හතෙන් මල් පෙත්තක් කඩලා අහසට වීසි කරලා ඒ කථාවේ ඉන්න ගෑණු ළමයා- ශේන්යා ඔය  මුලින් කීව කවිය ලස්සනට හයියෙන් කෑගහලා කියලා ඊට පස්සේ එයාට ආසා දේ එයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කලාම ඒ දේ ඉෂ්ට වෙනවා.මං පුංචි කාලෙදි ඔය පොත ආයිත් ආයිත් කියෙව්වෙ පුදුම තරම් ආසාවකින්.ඇත්තටම ඒ පොතටත් වඩා මන් ආසා කලේ සිතූ පැතූ දේවල් දෙන්න පුළුවන්කමක් ඇති ඒ හත් පෙති මලට.

අනේ..! මටත් ඒ වගේ මලක් ලැබෙනවා නම්..!!

පුංචි මං එදා එහෙම හිතුව වාර අනන්තයි...හැබැයි මං හත් පෙති මලෙන් බලාපොරොත්තු වුනේ ශේන්යා වගේ ලෝකෙම තියෙන සෙල්ලම් බඩු එයාගෙ වෙන්නවත්, එහෙම නැත්නම් ලෝකෙ උතුරු කෙළවරට ගිහින් එන්නවත් නෙවේ.හැමදාමත් වගේ මගේ ප්‍රාර්ථනා අතරෙ තිබුණෙ බොහොම අහිංසක පොඩි පොඩි දේවල්.

ටිකෙන් ටික ලොකු වෙද්දි මගෙ හිතේ ආදර සිතුවිලි පහළ වෙන්න  ගත්තු වයසත් එක්ක මං හැම වෙලේම ප්‍රාර්ථනා කරපු දෙයක් තමයි මට ගොඩාක් ආදරේ කරන, මාව ගොඩාක් ආරක්ෂා කරන කෙනෙක් මට ලැබේවා කියලා.ආදරේ කියන දේ ගොඩක්ම ඕන මං වගේ කෙනෙක් වෙනුවෙන් මං හොයන ජාතියෙම තවත් කෙනෙක්ව හොයනවට වඩා අර කථාවෙ එන " හත් පෙති මල " හොයාගන්න එක වඩා ලේසි වෙයි කියලා ඒ හැම වෙලාවකදිම මගේ යටි හිත මගේ ප්‍රාර්ථනා වලට ඔච්චම් කලා.ඒත් මං උත්සහය අත හැරියෙ නෑ.අවුරුදු ගාණක් තිස්සෙ මට හොයා ගන්න අමාරු වෙයි කියලා මගේම හිත 
මට විහිළු කරපු ඒ ලස්සන හත් පෙති මල මන් හැමතැනකම හෙව්වා.හැම අහුමුල්ලක් නෑරම පීර පීර හෙව්වෙ මන් ඒ හත් පෙති මලමයි.එයා කොහේම හරි කාටවත් නොපෙනෙන, කාටවත්ම හොයාගන්න බැරි තැනකට වෙලා පිපිලා ඇති කියලා මගේ උඩු හිත යටි හිතත් එක්ක හරි හරියට වාද කලා.

"හූ...ඇද්ද ? වැරදුණා නේද? ඒකනේ මම කීවෙ...හූ හූ..."

පළවෙනි වතාවට හත් පෙති මලක් කියලා වරදවා වටහාගෙන නෙලාගන්න ගියපු මලේ කටු ඇණිලා හිත හීරිලා ආපු ලේ ඇස් වලින් ගලා ගෙන එද්දි මගේ යටි හිත් මට සරදම් කලේ ඔහොමයි.ඒත් මම සැලුණෙ නෑ. එක සීරුවට ගලාගෙන ආව කඳුළු බිංදු එකින් එක පිහි දාලා ආයිමත් මම හෙව්වේ ඒ හත් පෙති මලමයි.හිතේ තිබුණ විශ්වාසය මගේ ජීවිතයට හුස්ම පිරෙව්වා.දෙවැනි තුන්වැනි වතාවටත් මං මහා හයියෙන් ඇඬුවා.අඬලා අඬලා අන්තිමටම වෙහෙස වුණු මගේ උඩු හිත යටි හිතට දිනුම දෙනවද නැද්ද කියලා කල්පනා කර කර ඉද්දි හිතුවෙවත් නැති මොහොතක පුංචිම පුංචි මලක සුවඳක් හදවතට හෙමින් සීරුවෙ දැනෙන්න ගත්තා.

නමුත් මුලදි මම ඒ මල දිහා ඇහැක් ඇරලා බැලුවෙවත් නෑ.ඒ මං හිතන්නෙ ආදරේ නිසා මං ගොඩාක් විඩපත් වෙලා හිටපු නිසා වෙන්න ඇති.වේලිලා, ඉරි තැලිලා ගිය මගේ හිත  තුන් වෙනි වතාවටත් ආදරෙන් පරාද වෙලා කඳුළු වලින් මූණ පොඟවගෙන හිටියෙ.ඇස් වලින් පැන්න කඳුළු පිටට නොපෙන්නා ඉන්න මං දැරුවෙ සුළු පටු උත්සාහයක් නෙවේ.ඒත් කාලය මැදිහත් වෙලා බොහොම අපූරු විදියට මට ඇත්ත පහදලා දුන්නා.

කොච්චර කඳුළු හංගන්න හැදුවත්, කොච්චර හිතේ දුක හිර කරගන්න හැදුවත්, මගේ හිතේ තද වෙලා, ගුලි වෙලා තිබුණු දුක දිහා හැමදාම පුංචිම පුංචි මලක් බලාගෙන ඉඳලා තිබුණා.එක දවසක් ඒ පුංචි මල්ට මං විඳින දුක දරාගන්න බැරිම වුණා.එහෙම දවසක, ඒ පුංචි මල,මං අවුරුදු ගාණක් තිස්සෛ හොය හොයා හිටි හත් පෙති මලක් වෙලා මෙතෙක් කල් හැංගිල හිටපු අඳුරු මුල්ලෙන් එළියට ඇවිත් මගේ මුළු හිතම සුවඳ කරගෙන අපූරුවට තමන්ගෙ පෙති එකි'නෙක විහිදුවන්න ගත්තා.

හත් පෙති මලේ කථාවේ පුංචි ශේන්යාට හත් පෙති මල ලැබුණේ මන්තර කාරියකගෙන්. ඒ මලට තිබුණේ පෙති හතයි.පෙති හතක් කියන්නේ ප්‍රාර්ථනා හතයි. ඒ කියන්නේ කොහොම කලත් ශේන්යාට ඉඩ ලැබුණෙ ප්‍රාර්ථනා 7ක් කරන්න විතරයි.ඒත් මට ලැබුණු හත් පෙති මල ඊට වඩා වෙනස්.ඒ මලේ පෙති කවදාවත් ඉවර වෙන්නේ නෑ.ඒ මල මට ලැබුණට පස්සෙ මගෙ ජීවිතේ සතුට, ආදරය, රැකවරණය මේ හැමදේම මගේ හිත පුරාම මට ලැබුණා. අන්තිමට මං හිතපු දේම මට ලැබුණා.

කාලාන්තරයක් තිස්සෙ මං ප්‍රාර්ථනා කරපු දේ ඉෂ්ට වුණා....!!!

තමන් ආදරේ කරනවාටත් වඩා වැඩියෙන් තමන්ට ආදරේ කරන කෙනෙක් ලබන්න අපි කවුරුත් කැමතියි.ඒත් ඒ ආසාව ඉෂ්ට වෙන්නේ කීයෙන් කී දෙනාගෙද? මමත් ඒ අතලොස්ස අතරින් එක්කෙනෙක්. ඇත්තටම ඒ සතුට කියලා නිම කරන්න බෑ.

ඔයා අද මගේ ජීවිතේම කොටසක් වෙලා. මං මෙතුවක් කාලෙකට ලබන්න ආසම කරපු මගේ පුංචි හත් පෙති මල වෙලා.ශේන්යාට වඩා මන් මහ ගොඩක් වාසනාවන්තයි.ශේන්යාගෙ එක ප්‍රාර්ථනාවක් සීමා වුණේ එක මල් පෙත්තකට විතරයි.ඒත් මගේ හත් පෙති මල එහෙම නෑ.මගේ හැම ප්‍රාර්ථනාවක්ම , මගේ හිතේ ගුලි කරන් ඉන්න හැම ආසාවක්ම සමහර විට මං කියන්නත් ඉස්සෙල්ලා මට ඉෂ්ට කරලා දෙනවා.මිල කරන්න බැරි තරම් මගේ හත් පෙති මල මට වටිනවා.ඒ වගේම ඔයා මගේ ජීවිතේ සුවඳ කරන හැම තත්පරයකදිම ඒ සුවඳ මගෙ මුළු ජීවිත කාලෙටම නොවෙනස්ව රඳව ගන්න මං මගේ උපරිමයෙන්ම කැප වෙනවා.

ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.මළාණික වෙච්චි හිතක් ප්‍රබෝධමත් කරලා ජීවිතේම නැවුම් හැඟීම් වලින් පුරවන්න ආදරේ බිංදුවකටත් පුළුවන්.හිතාගන්න බැරි දේවල් කරලා අසීමිත සන්තෝසයකින් මුළු හිතම පුරවන්න ආදරේට තියෙන්නේ හරිම අපූරු හැකියාවක්.හිතාගන්නවත් බැරි වෙලාවක මගේ ජීවිතය සුවඳවත් කරගෙන පිපුණු ඔයාගෙයි මගෙයි ආදර කතාවට තවම මාස 5 1/2ක් විතරයි.අපේ පුංචි හීන, බලාපොරොත්තු වලටත් තවම ඒ හැටි වයසක් නෑ.ඒත් ඒවා කවදාවත් වෙනස් වෙන බලාපොරොත්තු නෙවේ.ඒඉවා ස්ථිරයි.මේ මාස 5 1/2 ඈතුලෙ මාව සතුටින් තියන්න ඔයාගෙ ආදරේ මොනතරම් දේවල් කළාද? ඒ හැම දෙයක්ම වචන වලින් විස්තර කරලා ලියන්න තරම් මං පොහොසත් නෑ.

මගේ උපන්දින මාසය පුරාම ඔයා වස්සපු තෑගි වරුසාව දිහා බලද්දි මට මතක් වෙන්නෙ ආයිමත් ශේන්යාව 
ඇයි දන්නවද?
ඒ කථාවේ එක් තැනක හත් පෙති මලේ මල් පෙත්තක් කඩලා අහසට විසි කරලා ශේන්යා ඉල්ලන්නෙ "මුළු ලෝකෙම තියෙන සෙල්ලම් බඩු මගෙ වෙන්න " කියලා.ඒ ප්‍රාර්ථනාවෙන් මොහොතක් යන්න ඉස්සර හැම දිශාවකින්ම ශේන්යා දිහාට සෙල්ලම් බඩු වැස්සක් වහිනවා.මා මතක් වුණෛ ආන් ඒ වැස්සමයි.ඒත් ඒ වස්සෙයි මේ වැස්සෙයි අතර ලොකු වෙනසක් තියෙනවා.මෙහෙම උපන්දින තෑගි වරුසාවක් මගෙ මුළු ජිවිත කාලෙදිම මං බලාපොරොත්තු වුණ දෙයක් නෙවේ.ඒත් ඔක්තෝබර් 19 වෙනිදාට යෙදුණු මගේ උපන්දිනය දා එළඹෙන්නත් කලියෙන්ම ඒ කියන්නෙ ඔක්තෝබර් 16 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 31වෙනිදා වෙනකම් මගේ හත් පෙති මල තෑගි වරුසාවකින් මාව නෑව්වා.

" මට ඕන මුළු ඔක්තෝබර් මාසෙම ඔයාට තෑගි දෙන්න"

ඒ වචන කියන හැම මොහොතකම පුංචි දරුවෙක්ගෙ වගේ ඔයාගෙ ඇස් දීප්තිමත් වෙලා දිළිසෙන අපූරුව, එවෙලෙට මූණේ ඇඳෙන ලස්සන හිනාව දකිද්දි මගේ හිතේ ඔයාට තියෙන ආදරේ තවත් උතුරනවා. තෑගි දස දහසකටත් වඩා මට ඔයාගෙ ඒ හිනාව වටින නිසා.

ඉතින් මගේ රත්තරන්,

ඒ හැම තෑග්ගටම ගොඩාක් ස්තූතියි.මගේ පුංචි හත් පෙති මල, ඔයා තමා මගේ ජීවිතේ මං ලබපු හොඳම සහ වටිනාම තෑග්ග.හැමදාටම වෙනසක් නැතිව ඔය අහිංසක හිනාවයි ආදරෙයි තුරුළු කරන් මගේ 
ජීවිතේ සුවඳවත් කරන් හැමදාටම මං ලඟින්ම ඉන්න.

මගේ හත් පෙති මලට,
කාටවත් නොකළ තරම්.....
කවදාවත්ම නොකළ තරම්...
මං ගොඩාක් ආදරෙ‍යි...!!!!! 









Saturday, August 10, 2013

~~~~දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ...!!!! ~~~~

සිර කර ලනු බැරි සෙනේ හැඟුම් දිය...
උතුරා පිටාර යයි...
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ.. 
පෙම් සිත් බලා හිඳී...
උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස... 
බිඳී මැකී යා නම්....!!

රේඩියෝ එක මහ සද්දෙන් දාලා...හරිම ළයාන්විත හඬකින් ගැයෙන මේ පැදි පෙළේ අන්තිම පේළිය ඇහෙද්දි නොදැනීම ඇස් අගට එකතු වුණු කඳුළු බිංදුවක් එළියට පනින්න දඟලනව....කඳුළු බිංදුව පුංචිම පුංචි වුණාට ඒක අස්සේ ගුලි වෙලා තියෙන වේදනාව කොච්චරක්ද කියලා දන්නේ මගේ හිතම විතරයි...

හිත බය වෙලා වැඩිකමටමද මන්දා ඔයාත් ලෙඩ වෙලා.සේරටමත් වඩා ඒක මගේ හිතට ලොකු බරක්.මළානික වුණු ඔයාගෙ ඇස් දකිද්දි, කිසිම ප්‍රබෝධවත් බවක් නැති ඔයාගේ කටහඬ ඇහෙද්දි මට දැනෙන්නේ හරියට කාන්තාරෙක අතරමං වුණා වගේ හැඟීමක්.

ජීවිතේ ප්‍රශ්ණ, දුක් කම්කටොළු එක්ක ගලාගෙන යන ගඟක් වගේ.ඒ වගේ තමා බාධක එන්න ඕන, එතකොටයි ශක්තිමත් බැඳීමක් ඇති වෙන්නේ. ඒක තේරුම් අරගෙන හිත ශක්තිමත්ව තියාගෙන ඒ හැමදේටම මුහුණ දෙන එකට තමා ජීවත් වෙනවා කියලා කියන්නේ.

අපි මේ ලෝකෙට ඉපදුණේ තනියෙම.කවදාක හරි මේ ලෝකෙන් යන්නෙත් තනියෙන්.ඒත් ජීවත් වෙලා ඉද්දි තනියෙන් ඉන්න අමාරුයි.මේ ලෝකේ හැම මනුස්සයම සර්ව සම්පූර්ණ නෑ.එහෙම වුණා නම් මේ ලෝකෙ මේ විදියට පවතින්නේත් නැති වෙයි.දෙන්නෙක් එකම වහලක් යටට එන්න තීරණයකට එද්දි ගැළපීම් තියෙන්න ඕනි තමා.ඒ දෙන්නා අතර ඇතිවන තේරුම් ගැනීම, අවබෝධය, විශ්වාසය කියන සාධක වලයි ඒ ගැළපීම තියෙන්න ඕන.නැතුව මිල මුදල්,වත්කම් වල නෙවේ.ගැළපෙන දෙන්නෙක්ගේ නොගැළපීම් හොයනවට වඩා, ඒ දෙන්න ඒ නොගැළපීම් ගළපගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා.

( උපුටා ගැනීම : උචිත ගුණරුවන් බණ්ඩාරගොඩගේ සොයුරාගෙනි)

ජීවිතේ එක්තරා සන්ධිස්ථානයකට ඇවිත් ගොඩක් හොඳින් හිතලා තීරණයක් ගත්තම ඒක ඉක්මන් තීරණයක් කියලා කිසිම විමර්ශනයකින් තොරව ඒක හෙළා දකින්න ගොඩක් අය ඉදිරිපත් වෙන්න පුළුවන්.කැම්පුස් එකි ඉගෙන ගන්න කාලේ අතට අහු වෙන්නේ වට් නැති පොඩි ගනන් වලට පුංචි පුංචි රස්සා කරපු අපි ඒවා කරන කාලේත් අහගත්ත එවා අනන්තයි."උපාහි තීන අයට වටින රස්සාද ඕවා? "..."පඩි අඩුයි හොඳටම", "ඔහොම උපාධිය හෑල්ලු කරන්න එපා" ඔය වගේ කතා තමයි අපි ඇහුවේ....ඒත් අද..ඒ අත්දැකීම් වලින් කොයි තරම් ප්‍රයෝජන වෙලා තියෙනවද ජීවිතේ ඉස්සරහට යන්න, කොයි තරම් මිනිස්සුන්ව දැණ අඩුන ගත්තඩ? මිනිස්සු එක්ක වැඩ කරන්න ඕන විදිය ගැන ඉගෙන ගත්තද? ඒ අත්දැකීම් මිල කරන්න බෑ....අන්තිමට ඒ අත්දැකීම් වල පිහිටෙන් හොඳ තත්වයක් තියෙන සියළු පහසුකම් වලින් අඩුවක් නැති ...එකක් ලැබුණම අරහෙම තමන්ව පහත් කරලා කතා කරපු ඈයෝම අනික් අතට මහ ඉහළින් අපේම ගුණ වයනවා....ඒක තමා මිනිස් ස්වභාවය.

මුලින් විවේචන ගැරහුම්, ඊට පස්සේ අක්ල් හෙළීම් බැණ වැදීම තර්ජන, ඊටත් පස්සේ කැපිලි කෙටිලි කකුල් මාට්ටු...මේ කිසිම දේකට නොසැලී ඉදිරියට ගිහින් අරමුණ ජය ගත්තට පස්සේ ප්‍රීති ඝොෂා, ගුණ කථන මල් වෙඩි සමඟ මල් මාලා.වැදගත් වෙන්නේ ටමන් ගත්තු තීරනෙ කොයි තරම් නිවැරදිද කියන එක පමණයි.තමන් අරන් තියෙන්නේ වැරදි , මෝඩ තීරණයක් නම් ඇත්ත වශයෙන්ම ඒ ගැන හිතන්න ඕන ඒ තීරනයට එළඹීමට පෙර.නමුත් නුවනින් විමසා බලලා, හොඳින් හිතලා මතලා ගත්ත තීරනයක් කිසිම විචාරයකින් තොරව විවේචනයට බඳුන් කරලා අවතක්සේරු කරලා ඉන් පස්සේ හැමෝගෙන්ම කොන් කරල දමන එක ඉතාම අකාරුණික දෙයක් විදියටයි මං දකින්නේ.ඒත් ඒ වගේ අසීරු අවස්තාවන් වලටත් ඉතාම ඉවසීමෙන් මුහුණ දෙන්න වෙනවා සමහර වෙලාවන් වලදි.

තමන් විඳින, විඳපු දුක් කඳුළු වල තරම දන්නේ තමන් විතරයි.තමන් විඳපු දුක් වල අවසානයක් දකින්න හිතාගෙන තමන්ට අවංකව ආදරය කරන කෙනාව නිවැරදිව අඳුනගෙන ඒ කෙනාව තෝරා ගැනීම බරපතල වරදක්ද? මගේ හෘද සාක්ෂියට අනුව නම් ඒක වරදක් නෙවේ.ඒ නිසයි මං ගත්තු තීරණේ නිවැරදියි කියලා මං අදහන්නේ.

සියල්ලම මෙලෙසින් පවතිද්දීත්,
හඬන්නට සියක් හේතු තිබියදීත්,
මම සතුටින්, ඒ මට මගේ තීරණය විස්වාස නිසා, මං ඒ තීරණය ගැන තෘප්තිමත් නිසා.ඒ වගේම ඒ තීරණය මම ජීවිතයේ ගත් නිවැරදි තීරණයක් බව තදින්ම අදහන නිසා.ඉතින්, මගේ හිත සෑම අසීරු අවස්ථාවකටම මුහුණ දෙන්න හැකි විදියට මාව හැම මොහොතකම ශක්තිමත් කරන බව මට විශ්වාසයි.හැම දුෂ්කරතාවයකටම සාර්ථකව මුහුණ දීලා මං අරමුණ කරා යනවාමයි...ඔව්...මං දිනනවාමයි...!!!!! 

ඔයාලා වුණත්,
ජීවිතේට මොන බාධකය ආවත් ලේසියෙන් වට්ටන්න බැරි කෙනෙක් වෙන්න, නොසැලී ඉස්සරහටම යන්න...කවුදෝ කෙනෙක් කියලා තියෙනවා වගේ..
"ඔබ සමණලුන්ට ආදරේ නම් දළඹුවන්ද රැක බලාගැනිමට සූදානම් විය යුතුය"කියන කතාව හැම වෙලේම සිහියේ තියා ගන්න,මලක් වුණත් එක පාරට පිපෙන්නෙත් නෑ, ගහක් වුණත් අතු ඉති පල දරාගෙන සරුවට එක පාර හැදෙන්නෙත් නැති බව මතක තියා ගන්න...

කටු පඳුරු ගල් කොතෙක් තිබුණත්...
ගලන ගඟ නැහැ නැවතුණේ...
ආදරේ වේදනා පුරවා...
තැවුණු සිතමයි පැරදුණේ...

කඳුල සිනහව උරුම දිවිමඟ...
දුක ළඟයි සැප හිමි වුණේ...
ආදරේ සුන්දරයි මිහිරියි...
ඔබට ජය වේ හෙට දිනේ...

Wednesday, July 10, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ -අනන්තය තෙක් දිග හැරුම


"මේ..

පොඩි එකෙක් වගේ හුරතලෙන් එදා ඔයා මාත් එක්ක කතා කරපු දේවල් මට අද වගේ මතකයි....!!!

අද එතැන් සිට...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

"ආදරෙයි කියනවකෝ...."


"ඉන්නවකො වෙලාව ආවම කියන්නම් සේරටම ඇහෙන්න..."

"අනේ සාම්පල් එකක්වත්...අනේ අනේ...අම්මෝ කැම්පස් උන්ගෙ ගනන්.."

දඟකර කමට ඔයා එහෙම කීවට ඔයා හිතුවේ නෑ මම ඔයාට "ආදරෙයි" කියාවි කියලා.

ඒත් මම කීවා ඔයාට... 

"ආදරෙයි"

"එහෙම බෑ, කනට ඇහෙන්න කියන්න ඕන"

හරි, හෙට ඇවිත් කියන්නම්"

මම පොරොන්දු වුණා එහෙම.

"හෙට ඇවිත් කියන්නම්" කීවම ඔයාගේ හුස්ම මොහොතකට නැවතුණා කීවා, මතකද?
ඇත්තම කීවොත් ඔයා නොහිතූ මොහොතකදි මං කීව ඒ දේවල් විස්වාස කළේ නෑ.එකපාරටම.ඔයා හිතුවේ මගේ face book account එක hack කරලා කියලා, ඒ තරමටම ඔයා හිතපු දේ , ඔයා කාලයක් තිස්සේ ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉඳලා,වෙන කෙනෙකුට පරිත්‍යාග කරලා තමන්ටම දුක් දීගෙන හිත හදාගෙන හිටපු ඒ කාලේ ඉවර වෙලා නොහිතූ, නොපැතූ වෙලාවක තමන් බලාපොරොත්තු වුණ කෙනාම තමන් ළඟට ආවා කීවම ඒක විස්වාස කරගන්න අමාරු වුනා.ඔයාගේ හිත කොයි තරම් සතුටකින් පිරෙන්න ඇද්ද්? ඒ සතුට නොවෙනස්ව අදටත් තීයෙනවා.හැමදාටමත් තියේවි...මට ඒක විස්වාසයි.ජීවිතේ තීරණාත්මක තැනකට ඇවිත් මොන ප්‍රශ්ණෙකට මූණ දෙන්න වුණත් සූදානමින් කොටින්ම කියනවනම් ඕනෑම ප්‍රශ්නයකට ඔළුව කෙලින් තියාගෙන නොසැළී මූණ දෙන්න ධෛර්යය ඇති කරගෙන මං ඔයා ළඟට එන්න තීරණය කලා එදා.ඔයා මගෙන් මුලින්ම කැමතිද කියලා අහපු දවසෙ මගේ හිතේ අහළකවත් නොතිබුණු ධෛර්යය එදා මගේ හිත පුරාම අරක් ගෙන තිබුණා.එදා ඒ දවසෙදි අපි දෙන්නගෙම හිත් වල ඇති වෙච්ච සතුට ඇත්තමයි වචන වලට පෙරළන්න බැරි තරම්...ඒ සතුට,නැවුම් විදියට අදටත් අඩු නැතිව අපි දෙන්නා ළඟම තියෙනවා.

මැයි 17 වෙනිදා උදේ පූර්ණිමා එක්ක මං ඔයාව මුණ ගැහුණා.මේ තීරණේ සම්බන් ධව ගොඩක් ප්‍රශ්න ඒවි කියලා මට පැහැදිලි කලා වගේම ඔයාටත් පැහැදිලිව කියා දෙන්න පූර්ණිමා සෑහෙනම වෙහෙසක් ගත්තා.එවේලේ ඔයා මගේ අත තදින්ම අල්ලගෙන හිටියේ.මොන ප්‍රශ්නේ ආවත් එකට මූණ දෙමු කියලා ඔයාගේ හිත කියනවා මට ඇහුණා....මොනා වුණත් පූර්ණිමා අපෙ ගෙදර තත්වේ ගැන කිවූ කතා අහලා ඔයා සැහෙනම බය වෙලා හිටියේ කියන එක නම් මට හොඳටම තේරුණා. 

එදා හා හා පුරා කියලා ප්‍රථම කිස් එක (නළලට ) දෙන්නද ඇහුවම මං ලැජ්ජාවෙන් මූණ හංග ගත්තු හැටි තාමත් ඔයා මතක් කරන්නේ පුදුම ආදරේකින්.

"දැන්ම එපා කිස් එකක්" මං එහෙම කීවා ලැජ්ජාවෙන්ම.

"හෑ..එහෙනම් කවද්ද දෙන්නේ හත් දෙයියනේ? "

කටත් මහ ලොකුවට ඇරගෙන ඔයා අහපි.

මං ටික වෙලාවක් කල්පනා කරලා...

"ම්ම්ම්ම්...මගේ birthday එක දවසට දෙන්න"

කියල මං කියද්දි..

"අයියෝ සල්ලි..! මදැ‍යි, ඉතිං තව මාස 5ක් හිටපල්ලකෝ..."

අතේ ඇඟිලි වලින් මාස කීයක් තියේද කියලා ගනන් කරලා ඊට පස්සේ බොරුවට මූණත් හපුටු කරන් ඔයා කීව හැටියට මටත් වඩා හයියෙන්ම හිනා ගියේ පූර්ණිමාට.

"නිලී ඔහොම තමා සමීර, හරිනේ දැන් අහ ගත්තනේ...හි හි "

හිනා වෙවීම පූර්ණිමා එහෙම කියද්දි ඔයත් හයියෙන් හිනා වෙනවා දැක්කම මට දැනුණා කාලෙකට පස්සේ කොයි තරම් සැහැල්ලුවක් සතුටක් ඔයාගේ හිත පුරාම ඉතිරිලාද කියලා.

කොහොමෙන් කොහොමහරි මුල්ම කිස් එක එතනදිම දෙන තැනට වැඩ උනා.ඒ වෙලාවෙ ඔයා මගේ අතින් අල්ලලා මාව ඔයා ලගට අරං ඔයත් මට ලංවෙලා සීරුවෙන් නලලට පළවෙනි හාදුව දුන්නා.
ඒ තමයි තාත්තා ඇරෙන්න වෙන කෙනෙක් මගෙ නළලත සිපගත්ත පලවෙනි වතාව..
කොහොමත් පොඩි ළමෙක් වගේ වෙච්ච මට ඒක හුගාක් නැවුම් දෙයක් උනා වගේම හිත පුරාවටම ආදරේ වගේම ලැජ්ජාවකුත් ඇතිවෙලා පුංචි පූස් පැටියෙක් වගේ මම මූණ හංගගත්තා.


එදා හරිම අපූරු දවසක්.ඔයාගේ හිතේ ලොකු හීනයක් තිබුණා propose කරද්දි මං ළඟ දණ ගහලා මගේ අත් දෙක අල්ලගෙන "Can you Love Me ?"කියලා අහන්න...
ඒ හීනේ විදියට ඔයා මට පොඩ්ඩකට ඇස් දෙක වහ ගන්න කියලා ඒ විදියට දන ගහලා මගේ අත් දෙකෙන් අල්ලගෙන හුවා,

"Can you Love Me ?"

මට වුනේ සුපිරිම වැඩක්, වෙලාව කියන්නේ මං එහෙම දෙයක් බලපොරොත්තු නොවුණ නිසාම මට ඔයා කීව දේ හරියට ඇහුනේ නෑ...කෝකටත් කියලා ආයිමත් ඇහුවේ මොකක්ද කියලා ආයිත් පැහැදිලිව අහ ගන්න හිතන් මං අහපි.... 

"මොකක්ද ? " කියලා....

(අදටත් ඔය සිදුවීම මතක් වෙන හැම වෙලෙදිම මට වැදෙන මඩ ප්‍රහාර කෝටියයි අප්පා...)

ඒත්, ඔය සිදුවීම මතක් කර කර ඔයා හිනා වෙන හැම වෙලේම මට ගොඩාක් සතුටුයි...ඒ පුංචිම දේකින්
හරි ඔයාව මහා හයියෙන් හිනා ගස්සවන්න පුළුවන් මටම විතරක් නේද කියලා ඒ හැම මොහොතකම මට දැනෙන නිසා...

හැම මොහොතකම හැම තප්පරේකදිම මගේ පිස්සු වැඩ ඔයාව හිනා ගස්සන්නේ හරිම අපූරු විදියට.ඒ හිනාව ඔයාගේ මූණට ගේන්න තමා මට ඕන වුණේ...මම ඔයාට පොරොන්දු වුණෙත් කවදාවත්ම ඔයාව අඬවන්නේ නෑ කියලා....ඉතිං පුංචි දේටත් ඔයා මහා හයියෙන් හිනා වෙද්දි මට ලෝකෙම දිනුවා වගේ සතුටක් ඇති වෙන්නේ නිහතමානී ආඩම්බරයක් එක්ක.

කම්මල්කරු අත
පිපි සුදු නෙළුමකි.
කිනිහිරියා මල්
දසතම රගදෙති.
රළු අත් මත ඈ
වියැකෙයි බියවී.
සුමුදු වදන් ඇගෙ
වත වට අහුරති.

මේ නිසදැස ඔයා ලීවේ මං වෙනුවෙන් මැයි 18 වෙනිදා, අපි දෙන්නා විතරක්ම ඒ වෙනතෙක් දැනං හිටි 
අපේ ආදරය ගැන අපිට ආදරේ, අපේ ළඟින්ම නොවෙනස්ව හිටපු අයට පුංචි හෝඩුවාවක් දෙන්නයි ඔයා 
මේ පද පේළි ටික ගොණු කලේ, කීවත් වගේම හෙමීට හෙමීට සමහර ළඟම හිටි කට්ටියට අමුත්තක්
දැනෙන්න පටන් අරන් තිබුණා මේ කවිය කියෙව්වට පස්සේ.

මැයි 19 වෙනිදා, "ලාල් හෑගොඩ සර් ගේ ශිෂ්‍යයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයබලන්න මම වෙන් කරලා
තිබුණා. ඒක තිබුණේ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ...මමයි පූර්ණිමයි දෙන්නා උදේ ගිහින් ....එක රස 
වින්දා, ටික වෙලාවක් ඉඳලා පූර්ණිමා ගියාට පස්සෙ ඔයාගේ යාළුවෝ ටික සම්ප්‍රාප්ත වුණා 
එතනට...චමේලි, කසුන් (සත්සර ) , උදිත් මල්ලි කට්ටිය ඇවිත් ටික වෙලාවකින් ඔයා ආවා.අපි විනාඩි 
45ක් වගේ කාලයක් ...එකේ ගත කළා.ඊට පස්සේ අපි කට්ටියම කථා වුණා නිදහස් චතුරස්‍රය පැත්තේ 
යමුයි කියලා.අපි දෙන්නා නිදහස් චතුරස්‍රෙට ගියා අනික් අයට කලින් (බයික් එකේ). කොහොමින් 
කොහොම හරි අනික් අයත් පයින් ඇවිදන් හිමීට ඒ පැත්තට සම්ප්‍රාප්ත වුණයි කියමුකෝ. අපි කට්ටියම ටික වේලාවක් සතුටු සාමීචියේ යෙදිලා නිදහස්ව ඉන්න අතරවාරේදි හදිසියෙම පුංචි ගිරා පැටියෙක් අපි කට්ටිය හිටි තැනින් පාතින් පියාඹාගෙන ගියා.ටිකක් දුරක එළිමහනට පියඹගෙන ගිය ඒ ගිරා පුංචා බිම දිගේ ඇදීලා ගිහින් නතර වුණා.ආයිමත් උඩහට පියඹගන්න තටු ගහන්න තේරුමක් නැතිව අන්ද මන්ද වෙලා අසරණ වුණු ඌව දැකපු කපුටො රංචුවක් වට කරගන්න මාන බලනව දැකපු ඔයා ඉක්මණින් ඒ දිහාවට දුවලා ගියා. ගිරා පුංචා ළඟට ගිය ඔයා ඌව දෝතින්ම වඩා ගත්තේ පුදුම සෙනෙහසකින්.ඔයා ඌව අතට අරං ඌගේ ඔළුව ආදරෙන් අතගෑව හැටියට මට හරිම ආස හිතුණා.අපි දෙන්නම ආදරේ කරන්න පටන් අරගෙන හා හා පුරා කියලා හමුවුණු ප්‍රම වතාවෙදි අපිට මුණ ගැහුණු මේ අපූරුම අමුත්තාව හැමදාටම රැඳෙන විදියට අපි දෙන්නගෙම හිත් වල සුන්දර විදියට සටහන් වුණා. මුලදි ටිකක් විතර ගිරා පුංචාව අතට ගන්න මගේ හිතට පොඩි චකිතයක්, බයක් දැනුණත් මොහොතකින් ඒ බය මඟ ඇරිලා ගියා. ඌ අපි දෙන්නගෙ අත් වලට ඉක්මණටම හුරු වුණා. .ඇත්තටම ඌ හරිම ආදරණීය ගිරා පැටියෙක්.
තටු පැටලිලා හිටි නිසා පියාඹගන්න අමාරු වෙලා හිටපු ගිරා පුංචා අපිත් එක්ක ටික වෙලාවක් ගත කලා.
අපේ අතේ හිටපු ඩිංගට අපි ඌට අන්නාසි කවන්න හැදුවා, බය වෙලා හිටි නිසා ඌ ඒවා නම් කෑවේ
නෑ...වතුර ටිකක් විතරයි බීවේ, වතුර බීවාට පස්සේ ටිකක් විතර පණක් ඇවිත් ඌ ඔයාගේ ඔළුව වටෙ 
ඇවිදින්න ගත්තේ නිකම් සෑහෙන කලක ඉඳන් ඔයාව දන්න අඳුනනවා වගේ...

ඔහොම ටික වෙලාවක් ඉඳලා ගිරා පුංචා එක පාරටම පියාඹලා ගියා එයාගේ පුරුදු නෑදැයෝ 
ගාවට.ඇත්තටම අපිටත් ඕන වුණේ ඌ නිදහසේ පියාඹනවා දකින්න, ඒ, අපි දෙන්නගේම හිත් ඒ නිදහස 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්විඳින නිසා.ඉතිං ඌත් ඒ නිදහස හොයාගෙන ඈතට පියාඹලා යද්දි 
අපි දෙන්නටම ලොකූ සතුටක් දැනුණා.
අපේ "ප්‍රථම හමුවීම" හරිම ලස්සන මතකයන් ගොඩක් අපි දෙන්නගෙ ජීවිතේට එකතු කෙරුවේ ඒ විදියටයි.


හීනයක් ද මේ.... 
නිල් මැණික් දෑස ළං වෙලා...
නෑ ඉතින් අනේ... 
ප්‍රේමයත් ගීතයක් වුණා...
සාගරෙත් දනී...
ආදරෙත් මේඝයක් වුණා...
සත්තමයි අනේ... 
ජීවිතෙත් මහමෙරක් වුණා...
ආදරය කියන්නේ ඇත්තටම පුදුමාකාර ඔසුවක්.මළානික වෙලා තිබුණු මගේ මූණ කවදාවත් නොතිබුණු තරම් ලස්සන හිනාවකින් පිරුණාම මගේ දිළිසෙන ඇස් වලින් හැමෝම දැක්කේ මගේ හිත මොන තරම් සතුටකින් පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවද කියලා, ඒකට හේතුව ඔයා කියලා අමුතුවෙන් කාටවත් කියන්න ඕන වුණෙත් නැති තරම්.පරණ හැමදෙයක්ම අමතක කරලා දාලා පරාජිත සිතුවිලි, හිත් රිදීම් හිතින් අතුගාලා ම දාලා අළුතෙන්ම..ඔව් අළුතෙන්ම ඉපදුණා වගේ හැඟීමකින් හිත පිරීලා ගියා, නැවුම් සිතුවිලි හිත පුරාම ඉහිරුණා. 


අවපැහැ ගැන්වෙලා තිබුණු මගේ මූණ ටිකෙන් ටික පැහැපත් වෙන්න ගත්තාම ඔයාට ඒක ලොකු පුදුමයක් වුණා.හිතේ තිබුණ දුක්, දොම්නස් හැමදේම අඩු වෙද්දි මූණේ සිද්දවුණු වෙනස්කම් වුණේ ඔයා නිසා කියලා ඔයාට තේරුම් යන්න ගත්තම ඔයාට කොච්චර සතුටු හිතුණද කියලා මට දැනුණා. කාලයක් තිස්සේම අඬ අඬ හූල්ල හූල්ල හිටපු ඔයා ඒ හැම අඳුරු මතකයක්ම අමතක කරලා හදවතින්ම හිනා වෙන්න ගත්තා. යටපත් වෙලා, හැංගිලා තිබුණ ඒ දගකාරකම ආයිමත් ඔයාගෙන් පේන්න ගත්තා.හැම දවසක්ම නැවුම් විදියට පටන් ගන්න බව අපි දෙන්නටම දැනෙන්න ගත්තා.ඇත්තම කිව්වොත් ජීවත් වෙනවා කියලා අපි දෙන්නටම දැනෙන්න ගත්තා. ඔයා හිතන් හිටියේ කාලයක් යනකම්ම ඔයාට ගහකට, ගලකට ආදරේ කරන්න වෙයි කියලා. ඒත් නොහිතූ විදියට ඔයාගේ ආදරේ මාව වෙනස් කලා.ඔයාගෙම වචන වලින් කියනවනම් "පොල්ලෙන් ගැහුවා වගේ "මම ඔයාට මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් ගත්තා.ඔයාට ඒක විස්වාස කර ගන්නත් අමාරු වුණා.
"ඇත්තටම මාරයි, ඔයාව මට ලැබුණා කියලා විස්වාස කරගන්නත් අමාරුයි"
ඔයාගේ දිලිසෙන ඇස්, ඒ හිත හැමතිස්සෙම කීවේ එහෙමයි. හැමදාම නැවුම් සුවඳින් පිරෙන අපේ ආදර කථාවට අද වෙද්දි මාස දෙකකුත් පිරෙන්න ළං වෙලා.ඒත් මුල්ම දවසෙදි අපි දෙන්නගෙම හිත් වලට දැනුණු නැවුම් හැඟීම තව අවුරුදු ගාණක් ගියත් ඒ විදියටම තියේවි. හැමදාටම...ඔව්...හැමදාටමත් තියේවි...
කඳුළු වල සීතල හැඳිනු නෙත...
සුසුම් වල උණුසුම රැඳුණු සිත...
හිනා මල් නිති පුබුදනා හැඩ...
දකින සැමවිට නිවේ මා සිත...
ඉතිං අපේ මේ සුන්දර ජීවිත අත්දැකීම මෙතැන් පටන් අනන්තය තෙක්ම ගලා යාවි....සිනා මල් හැමදාකම පිපෙන්නේ නැති වේවී...

"හැමදා දුක හැමදා සැප නොමැති ලෝකයේ, සිනා නැඟෙයි-කඳුල නැඟෙයි එයයි ජිවිතේ.."

ඒ වුණත්...!!!

තෙරක් නැති කටු පඳුරු, බාධක, ගල් පර පසු කරන් අනන්තය තෙක් ගලා යන ඒ ගමන නොනවතින බව නම් අපි දෙන්නටම විස්වාසයි...!!!!

පසු වදන :


 "රූ වරුණ " ඡායාරුප ප්‍රදර්ශනයේ ඡායරූප එකතුවක් අතර තිබිලා මේ ලඟදි අහම්බෙන් දුටුව ඡායාරූපයක් මේ...අපි ප්‍රදර්ශනයෙ ඉද්දි අපිටත් නොදැනිම අපිව කැමරා කාචයට අපූරුවට හසු වෙලා තිබුණා...ඇත්තෙන්ම හරිම අපූරු ඡායාරූපයක්...අපිව තෙවන ඇසට හසු කර ගනිමින් අපි දෙන්නගෙම අමරණීය ඒ  දවස මේ විදියට  සුන්දර මතක සටහනකට කැටි කළේ ප්‍රදීප් කිරින්දගේ සහෝදරයා...ඉත්ං ප්‍රදීප් සොයුර,ඔබට බෙහෙවින්ම ස්තූතියි..!!!!


Saturday, June 29, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - සිව්වන දිග හැරුම

මට හිතුණා...අපි දෙන්නගේ යාළුකම එදායින් ඉවරෙටම ඉවරවෙයි කියලා, ඒ තරමටම අපි දෙන්නගේ හිත් පළුදු වුණා, ඉරි තැලුණා...

ඒත්?

අද එතැන් සිට...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඒත්..
ඔයා හැමදාම ඔයාගෙ ඉවසීම මං වෙනුවෙන් එක විදියටම රඳවගෙන හිටියා......එහෙම වුණත් ඔයාගේ සංවේදි හිතට ඒ ඉවසීමේ සීමා මායිම් දරා ගන්න අමාරු වුණ එක මොහොතක ඔයා මටත් රහසේම තීරණය කරලා තිබුණා මගේ යාළුකම අත ඇරලා දාල ආයිත් නො එන්නම යන්න.( ඒක මම දැනගත්තේ මෑතකදී ).අවස්ථා කීපයකදීම ඔයා කීවා යාළුවෙක් විදියට ඉන්න අමාරුයි කියලා.ඒත් මගේ ආත්මාර්ථකාමී හිත ඔයාව යාළුකමින් ඈත් කරලා ඔයාව දාලා යන්න මට ඉඩදුන්නේම නැති හැටි..!! මං දිගින් දිගටම කීවේ හැමදාම හොඳ යාළුවෙක් වෙලා මගේ ලඟින් ඉන්න කියලාමයි.ගොඩාක් අය හිතුවේ මං ඔයාව backup එකක් විදියට පාවිච්චි කරනවා කියලා.ඔයාගේ සමහර (දැන් පළාතකවත් නැති, හොයා ගන්නත් බැරි ) යාළුවෝ සමහරු කියලා තිබුණා. "මල්ලී, මං ඔය වගේ කේස් 1කට 10ක් පෙන්නන්නම් කියලා..ඒ තරම් පටු විදියට සමහර අය මං ගැන හිතුවත්, ඔයාගෙ සමහර යාළුවෝම මාව හරියටම තේරුම් අරන් හිටියා මගේ තුන් හිතකවත් එහෙම අදසක් ඔයා ගැන නෑ කියන එක.

දවසින් දවස ගෙවිලා ගියා.හැමදාකම මම හිටියේ බයෙන්, මගේ හිත බලාපොරොත්තු වෙච්ච කෙනා මට නොලැබේවි කියන බය මගේ හිත ඇතුළේ හොල්මන් කලා., මගේ හිතේ තිබුණ බය අනික් කාටත් වඩා දැනුණේ ඔයාට.මං දන්නේ නෑ ඒක කොහොම දැණුනද කියලා. ඒත් ඔයාට දැනුණා මං ඉන්නෙ මොන තරම් ලොකු පීඩනයකද කියලා.ඔයා මට හැමවේලෙම කීවේ මගේ හිතේ තියෙන දේ ඒ අදාළ කෙනාට කියලා දාන්න, වෙන දෙයක් වෙන්නේ නැතැයි කියලා. ඔයා මටත් වඩා විශ්වාස කළා හැමදේම හොඳින් සිද්දවේවී කියලා.

ඔයා හැමවෙලේම කීවේ,
"බය වෙන්න එපා. එයාට කිසිම හේතුවක් නෑ ඔයාට අකමැති වෙන්න, ඔයා බොරුවට හිත හිත විඳවන්නේ නැතුව ඕක කියලා දාන්න "කියලා.ඔයා වගේම මං වටේ හිටපු හොඳම යාළුවොත් හැමෝම වගේ හිතුවේ එහෙම තමයි. ඒ හැමෝගෙම විශ්වාසයත් එකතු කරන් මම මගේ හිතේ තිබුණ දේ අදාළ කෙනාට ප්‍රකාශ කලා.ඒ මැයි 08 වෙනිදා....
දින 2ක නිහැඬියාවකින් පස්සේ මැයි 10 වෙනිදා එයාගේ උත්තරේ එයා දීලා තිබුණා.

කවුරුවත්ම බලාපොරොත්තු නොවුණ විදියට එයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලා.එයා අසරණ වෙලා ඉන්නේ කියලා තමා කියලා තිබුණේ.එයාගේ ප්‍රථම ප්‍රේමය එයාට අමතක  කරන්න බැරිකම තමා අසරණ වීමට ප්‍රධානම හේතුව විදියට එයා කිව්වේ.මොන හේතුවක් මුල් වුණත් මම තනියෙන්ම මවපු හීන බලාපොරොත්තු වලට ඒ හේතු වලින් සැනසීමක් ලැබුණේ නෑ.ඒ හැමදෙයක්ම කඩාගෙන වැටෙන්න ගත වුණේ බොහොම කෙටි කාලයයීඉත් කාලයක් තිස්සේ හිතට දැනිල තිබුණු හිස් හැඟීමත් එක්ක ලොකූ දුකක් හිතට දැනුණේ නෑ, ඒත් කියාගන්න බැරි තරම් අසරණකමකින් හිත පිරිලා ගියා එයාගේ උත්තරේ දැකලා.පැරදිලා වෙහෙස වෙලා හිටපු මගේ හිතට ඒ උත්තරේ බර වැඩි වුණා.අඬනවද නැද්ද කියලවත් හිතාගන්න බැරි තරමටම හිත පුදුමාකාර විදියට පාළු, මූසල හැඟීමකින් පිරිලා ගියා.

2013.05.13 වෙනිදා....කලින් දවසෙ මෙත් නංගි කෝල් කරලා econ note  එකක් ඉල්ලලා කීවා, ඒ note එක ඔයාට දෙන්න, එයා ඔයාගෙන් ඒක ඉල්ල ගන්නම් කියලා.

ඉත්ං ඒක දෙන්න ඕන නිසා මං උදේ ඔයාව meet වුණා.මට ඕන වුණේ ඔයාට ඒක දීලා එහෙම්ම Galle face ගිහින් තනියෙන්ම ටික වෙලාවක් ගත කරන්න..(වරදවා හිතන්න එපෝ,මුහුදට පනින්න තරම් ඕනකමක් තිබුණේ නෑ ඕං).

පුරුදු විදියටම මාව දැක්ක ගමන් ඔයාට මගේ අමුත්තක් දැණුනා.

"ඇයි? මොකක්ද අවුල? කියන්නකෝ.."

"නෑ, මුකුත් නෑ, මං යන්න ඕන දැන්..."

මං කියද්දි,

"කොහේ යන්නද?

මට  Galle Face ගිහින් ටික වෙලාවක් තනියෙන් ඉන්න ඕන"

මම කිව්ව.

එහෙම කීව ගමන් ඔයාගේ මූණ අමුතු වුණා.

"යන්න දෙන්න බෑ Galle Face නම් කොහොමත්, ඉන්නවා ඔහොම පොඩ්ඩක්"

ඔයා ටිකක් තදින් කියලා මාව නවත්තගත්තා.

එවේලේ ඉඳන් සෑහෙනම වෙලාවක් ලඟින් ඉඳන් මගේ ඔළුව අත ගගා ඔයා මට කීවේ අඬන්න ඕන නම් අඬන්න,හිතේ තරහක් තියේ නම් ඔයාට හරි බැනලා හරි හිත නිදහස් කරගන්න කියලා..ඒත් මං හැඟීම් විරහිතව ඔහේ බලාගත්තු අත බලන් හිටියා. ඒක ඔයාට වාවගන්න බැරි තරම් දුකක් වුණා.ඒ නිසාමයි ඔයා අර විදියට කීවේත්.ඒත් කොච්චර නම් කීවත් මන් ඇඬුවේ නෑ.වැඩිය කතා කලේත් නෑ.අදටත් එදා දවස මෙහෙමවත් මතක් කරනවටවත් ඔයා කැමති නෑ, ඇත්තම කීවොත් මං කැමතිති නෑ. ඒ තරමටම අන්ත අසරණ වුණ දවසක් මගේ ජීවිතේ නැති තරම්.ආදරෙන් පරාද වෙලා අරමුණක් නැතුව ඔහේ බලා ඉන්න වුණ ඒ පැය කීපය මගේ ජීවිතේ මං ගත කරපු අසීරුම පැය කීපය කියල මට අවිවාදයෙන් කියතෑකි.ඒ තරමටම ඒ කඩා වැටිම මගේ හිත පතුලටම කිඳා බැහැලා තිබුණා.

මම පත් වුණු ඒ තත්වය, ඒ අසරණ හැඟීම මට ගොඩක් ආදරේ කල ඔයාට දරාගන්නම බැරි දුකක් වුණා කියලා මට තේරුණේ ඔයා එදා හවස මට එවපු message එක දැක්කම...


"අද ඔයා හිටි විදියයි, කවදා හරි ඔයා මැරුණ දවසට ඉඳියි කියල හිතෙන විදියේ වැඩි වෙනසක් නෑ කෙල්ලේ, ආයිත් මට එහෙම දෙයක් ඔයාගේ මූණෙන් දකින්න ඕන නෑ " 

එදා මට මාව නොපෙණුනාට, මං මාව නොදැක්කට ඔයා මං හිටපු මළානික ස්වරූපය දැකලා ඇද වැටුණු වැටීම ගැන මට ඒ හැම වචනයක් ගානෙම දැනෙන්න ගත්තා.මහා දුකක් දැනුණා මට...එක්කෝ නෑ...තිබ්බ දුක තවත් වැඩි වුණා කීවොත් තමා හරියටම හරි...හ්ම්ම්ම්ම්...

මාස ගාණක වෙලේ ඉඳන් අහිමි වුන ආදරයක් ගැ හූල්ල හූල්ල අඬපු ඔයා, මං ගැනත් ගොඩාක් දුක් වෙන්න පටන් ගත්තම ඇත්තටම මට කර කියා ගන්න දෙයක් නැති වුණා.


ජීවිතේ තීරණ ගනිද්දි "මිනිස්සු" විදියට අපි ගොඩක් හිතලා ගන්න තීරණ තියෙනවා.ආවාට ගියාට ජීවිතේ වැදගත් තීරණ ගන්න බෑ.මම මෙතෙක් කාලයක් යම් යම් තීරණ ගනිද්දි මං ගැන හිතන එක දෙවනුවට තියලා මුලින් අනුන් ගැන හිතලා සමහර අවස්ථාවලදි වැඩ කලේ.විශේෂයෙන්ම ආදරේ  සම්බන්ධව මම මං ගැන නොහිතා තමා මං ආදරේ කරලා විඳෙව්වේ.මගේ හිත එහෙම දිගින් දිගටම කඩා වැටිලා තිබුණු මොහොතක අමාරුවෙන් හිත හදාගෙන මං ආයිමත් දැකින්න උත්සාහ කරපු හීන සේරම බිඳිලා විසිරිලා යද්දි හිතට දැණුනු පරාජය මුසු වුණ, ඒ කාලකන්නි අසරණ හැඟීම යටපත් කර ගන්න මම අපොහොසත් වුණා.ගොඩාක් ලොකු කළකිරීමකින් හිත පිරුණා.ඒ කළකිරිම නැති කර ගන්නේ මොන විදියෙන්ද කියලා, අඩුම තරමෙ මගේ හිත මට හදා ගන්න පුළුවන් වේවි කියලා මට මොහොතකටවත් හිතුනේ නෑ... 

ඒත් ඔයත් මං ගැන හිතලා දුක් විඳින විදිය දැක්කට පස්සේ මට හිතෙන්න ගත්තා, මට තේරුම් යන්න ගත්තා, මට ආදරේ කරන අය මම විඳවද්දි මොන තරම් දුක් විඳිනවා ඇද්ද කියලා.පළවෙනි වතාවට මම මං ගැන හිතන්න ගත්තා.මම මං ගැන හිතන්න ගනිද්දි මට ආදරේ දැනෙන්න ඕන මොන විදියටද, මං බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආදරයක්ද කියලා ටිකින් ටික මට වැටහෙන්න ගත්තා.මම මගේ හිතට ඇහුම්කන් දෙන්න පටන් ගත්තා.මම හොයන්නේ මට ගොඩාක් ආදරෙන්, මාව ගොඩක් හොඳින් බලාගන්න පුළුවන් කෙනෙක් කියන එක, එහෙම ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් ළඟයි මගේ සතුට, මගේ හිනාව රැඳිලා තියෙන්නේ කියන එක මගේ හිත මට හෙමිහිට තේරුම් කරලා දුන්නා.පළවෙනි වතාවට මට ආදරේ කරන කෙනාගේ ආදරය, ඔයාගේ ආදරය මම මගේ හිතටම දැනෙන්න සැලැස්සුවා.එහෙම හිතන්න ගනිද්දි මට නිදහසක් දැණුනා.ලොකු නිදහසක්.ඒ වගේම මට ඇත්තටම ආදරේ  කරන කෙනාට මගේ සතුට මොන තරම් වටිනවද කියන එක මට තේරුම් ගියා.

මං ගොඩාක් කල්පනා කලා. ගොඩක් හිතුවා.....

මට මතක් වුණා එදා, මං අවුලෙන් හිටි වෙලේ ඔයා මට කියපු දේවල්.

"නිලීකා, මේ සින්දුව ටිකක් බලන්න"

මං එයා ෆෝන් එකේ playවෙන්න දාපු video එක දිහා බලාගෙන හිටියා.ඒකේ වාදනය වුණේ Aladin හින්දි ෆිල්ම් එකේ ලස්සන සින්දුවක්.

" You may be...
   just a little bit deewani...
  Thodi todi se crazy....
  but baby...
  YOU ARE THE ONE "

ඒ සින්දුව පසුබිමින් වාදනය වෙද්දි ඔයා හෙමිහිට ඒක මං දිහා බලාගෙන  මිමිණුවා.ඒ මොහොත මගේ හිතේ නොමැකෙන විදියට සටහන් වුණා.

ගොඩාක් කල්පනා කරලා කරලා අන්තිමේදි මං තීරණයකට ආවා.
හැබැයි එහෙම තීරණයකට එන්න මගේ හිත සූදානම් වෙලා හිටියා කියන එක දැනන් හිටියේ මගේ හිත විතරමයි.අඩු තරමේ ඒක ඔයාටවත් ඒක දැනිලා තිබුණේ නෑ.

දිනය මැයි 15 වෙනිදා...
එදා හවස අපි දෙන්නා meet වුණා. එදා අපි මෙත් නංගිව බලන්න යන්න කථා කරන් තිබුණේ.

"Bike එකේ යමුද? " ඔයා ඇහුවා.

"අනේ පොඩි කාලේ ගියාට පස්සේ මං bike වල ගිහින්ම නෑ අය්යෝ,මට බයයි bike වල යන්න, ඇරත් මං ආස නෑ"

මගේ උත්තරේ වුණේ ඒකයි.

ඒත් ඔයාගේ නැවතිල්ලක්ම නැති ඇවිටිල්ලම මාව ඔයාව bike එකට නැග්ගුවා.හැබැයි 1000ක් කොන්දේසි දාල තමා අන්තිමට මං  bike එකේ යන්න කැමති වුණේ.ලොකුම කොන්දේසිය තමා speed එකේ යන්න බෑ, යන්න පුළුවන් උපරිම speed එක 30 km/h කියලා.

එදා තමා පළවෙනි වතාවට මං ඔයාගේ bike එකේ ගිය දවස.
මතකද? එදා යද්දි මං මීටර් එක දිහා බලාගෙනමයි ගියේ.ඔයා විහිළුවට වගේ speed එක වැඩි කරද්දි 
මං කෑ ගැහුව හැටි මතකද ඔයාට? විජේරාම හන්දියට එනකම් ම එහෙමයි.දැන් නම් මතක් වෙද්දිත් හිනහයි.
මෙත් නංගිව හම්බු වෙලා ආපහු එද්දි ඔයා කිව්වෙත් මම තීරණයක් ගන්නකන්. ඔයා කැමති තරං කාලයක් බලාගෙන් ඉන්නම් කියලා.ඒ ගමන පුරාවටම මගේ ඔළුවේ දිගින් දිගටම  කැරකුණේත් මං ගන්න හිතන් හිටපු තීරණය ගැනම තමයි.

කොහොමහරි එදා ආපිට බයික් එකෙ එද්දි ඔයා මගේ අත අරන් ඔයාගේ ඉනෙන් තියාගත්තම මම ආපහු අත ඇදල ගත්තේ නිකම්ම නෙවේ මෙහෙමත් කියාගෙන...
"මේ... මේ.. අපි තාම SET නෑ හරිද ?

අන්න එතනදි තමා පළවෙනි සැරේට බළලා ( අපි දෙන්නගේම සුරතලා..) මල්ලෙන් එළියට පැන්නේ...ඒත් ඉතිං එක්කෙනෙක්ට ඒක තේරුනේ නෑ කියපල්ලකෝ...

ඊට පස්සේ දවසේ, ඒ කියන්නේ 2013.05.16, මගේ ජීවිතේ සුවිශේෂීම දවස උදා වුණා....එදා උදේ පූර්ණිමා (මගේ හොඳම,පරණම යාළුවා වගේ ම මගේ ජීවිතේ වැඩි කාලයක් -අවුරුදු 13ක් තිස්සේ මං ළගින්ම ඉන්න යාළුවා) එක්ක මං මෙත් නංගිට Econ වගයක් කියලා දෙන්න ජ'පුර සරසවියට ගියා.අපි යද්දි එදා හවස එයාට තිබුණු Mid- Term එකට එයා පාඩම් කර කර හිටියේ.අපි යන අතරේ මඟදි බස් එකේදි මගේ ෆෝන් එකට message එකක් ආවා uni එකේ යාළුවෙක් ගෙන්.

"අද Final results එන කථාවක් තියෙනවා"


මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා.හිතේ විශ්වාසයක් තිබුණත් ඇති වුණ චකිතය නිසා හිත ටිකක් විතර බය වෙලා තිබුණේ.මොන වගේ අවසාන ප්‍රතිඵලයක් දකින්න ලැබේවිද කියලා.

මෙත් නංගිට අමාරු විෂය කොටස් ටික පැහැදිලි කරලා දීලා මං පූර්ණිමා එක්ක කැම්පස් එක පුරාම ඇවිද්දා.මට ඇත්තටම ඕන වුනා, මං ගත්තු  තීරණය හරිද වැරදිද කියලා කියන එක තහවුරු කර ගන්න.මගේ හිත ගැන හොඳටම දන්න තවත් හිතක සහය එවේලෙ මට හොඳටම අවශ්‍ය වුණා.ඒ නිසා මං මගේ හොඳම යාළුවා එක්ක හැමදේම කථා කළා එදා.

"ඔයා ගන්න හිතුව තීරණය වැරදි නෑ, ඒකෙන් කාටවත් අසාධාරණයක් වෙන්නේත් නෑ.ඒත් ඔයා ඔය තීරණය ගන්නවනම් ඔයාට ගොඩක් ප්‍රශ්ණ වලට මූණ දෙන්න වේවි.විශේෂයෙන් ඔයාගේ ගෙදරින්, අම්මයි තාත්තයි කොහොමවත් නම් කැමති වෙන එකක් නැතිවෙයි නිලී, අම්ම කොහොම වෙතත් තාත්තා නම් කැමති වෙන එකක්ම නෑ.
ඒත්, ඔයා ඔය තීරණය ගන්නවනං එන හැම ප්‍රශ්නෙකටම සැලෙන්නේ නැතුව මූණ දෙන්න බලාගෙන  ගන්න, ඔයාට ඕන දේකදි මම ඉන්නවා, බය වෙන්න එපා."


පූර්ණිමා හැමදේම අහන් ඉඳලා කීවේ ඔච්චරයි.මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා.අපි ජ'පුරෙ පැය 2 1/2ක් විතර ඉඳලා මෙත් නංගිට mid term test එකටත් wish කරලා බස් එකට නැග්ගේ මගේ uni එකට යන්න final results ඇවිත් ඇති කියන දෙගිඩියාවත් එක්ක notice board එක බලන්න යන්න කියලා මගේ හිත මාව ඒ දිහාට තල්ලු කළා.
"කැම්පස් එක ළඟ 2ක්"

බස් එකට නැඟලාත් පූර්ණිමා එක්ක දිගටම කථා කර කර ආවේ මගේ තීරණය ගැන.කැම්පස් එක ළඟින් බහින්න හෝල්ට් එකක් කලින් එකපාරටම මට අදහසක් ආවා.

"මේ, අපි  Galle face යමුද? "

ඒ යෝජනාව කටින් පනින ඉක්මණටත් වඩා වැඩි වේගෙන් පූර්ණිමත් ඒකට කැමති වුණා.

"Lake House ගාව 2ක්"

ආයිමත් ඒ බස් එකේම අළුතින් ticket අරං ඒ බස් එකේම අපි Galle Face යන්න පිටත් වුණා.

Galle Face දිහාවට ඇවිදන් ගියත් රැල්ල පාගන්න අපිට බැරි වුණා.එදා Galle Face හලයි තිබුණේ ආරක්ෂක හේතුවක් නිසා.ඈත පේන රැල්ල වෙරළට දූවගෙන ඇවිත් හැපෙන හැටි, පෙණ කැටිති විසිරිලා යන දිහාව බලාන හිටියත් පුදුම සනීපයක් හිතට දැනෙනවා.වෙනදා පුරුද්දට හුඟ වෙලාවක් මං ඒ දිහා කතා නැතිවම බලාගෙනම හිටියා.හිතට දැනුණ සැහැල්ලුව වචන වලින් කියලා නිම කරන්න බෑ.වෙනදා කවදාවත්ම නොදැණුනු තරමේ නිදහසක් දැනුණා.

ටික වේලාවක් Galle Face එකේ ගත කරලා අපි දෙන්නා ආයිමත් uni එකට ආවා. 

"Results දාලාලු, පොඩ්ඩක් චෙක් කරන්නකෝ."

සුමුදු කෝල් කරලා කියද්දි මං හිටියේ College House එක ළඟ.

"හරි, මං  exam branch එකට යන ගමන්,මං බලලා results දාලා තිබ්බොත් කියන්නම් "

ෆෝන් එක cut කරලා මම පූර්ණිමා එක්ක ඉක්මන් ගමණින්  exam branch එක දිහාට ගියා.මගේ හද ගැස්ම මටම ඇහෙන තරම්. බයයි හිතට. කලින් දවසේ මං ඔයා එක්ක කථා කරපුවා එක සීරුවට මතක් වෙන්න ගත්තා.

" results එනවලු, බයයි හලෝ.."

"බය වෙන්නේ මොකටද? ඔයා Batch top නෙහ් ..."

ඔයා හිනා වෙවී කියපු හැටි එක පාරට මතක් වුණා.කොහොමහරි exam branch එකට ගිහින් ඇහුවම 
කීවා මේ දැන් තමා results notice board එකට දැම්මේ කියලා....

එක පිම්මට දිව්වේ notice board එක ළඟට. දාපු ගමන්ම උණු උණුවෙම Results බලපු පළවෙනියා මමයි.


Second Lower Division
S.Y.N.D. Wickramasinghe 

"හ්ම්ම්ම්ම්,class එක නම් බේරිලා, ඒත් lower නෙහ්...
කමක් නෑ. "

හිත යම්තාක් දුරකට සැනසීම ලැබුවා.අම්මාට, තාත්තාට කෝල් කරලා කීවට පස්සේ ඔයාටයි මම කෝල් කලේ. එදා, ඒ මොහොතේ ඉඳන් මං ඔයාට මගේ ජීවිතේ විශේෂ තැනක් දීලයි තිබුණේ.

එවෙලෙ ඉඳන් uni එකට ගිහින් හිටපු කාලෙ අතරතුර ආපු කෝල්ස් වලට answer කරලා ඉවරයක් කරන්න ලැබුණේ නෑ.ඇත්තටම ගොඩාක් සතුටින් හිත පිරිලා ගියා.

ගෙදර ඇවිත් face book log වුණාට පස්සේ මගේ වෝල් එක පිරිලා තිබුණේම ස්තූතිය පළකරපු wall posts වලින්.මගෙන් ලැබුණ පුංචි උදව්ව පවා මතක් කරලා ගොඩාක් අය දක්වලා තිබුණු කෘතවේදීත්වය 
මගේ හිත පුදුමාකාර පහන් හැඟීමකින් පිරෙව්වා.ඒ දවසේ ඒ මොහොත මම තරම් සතුටින් ගෙවපු කෙනෙක් ඇත්තේම නැථුව ඇති කියලා මට හිතුණා.ඒ වගේම මට හිතුණා ඒ සතුටම තවත් කෙනෙකුට ඒ විදියටම දෙන්න, මාස ගාණක් තිස්සේ හිතේ අස්සේම ගුලි කරගෙන පෙරුම් පුරාගෙන එකම ප්‍රාර්ථනාවක් හිතේ තියන් හිටපු අහිංසක හිතක බලාපොරොත්තු නොවුණ මොහොතක ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වුණාම දැන්න පුළුවන් සතුට ඒ කෙනාට ඒ විදියටම දෙන්න මට ඕන වුණා. ඒ සුවිශේෂී දවසේ.එදා මතක හිටින දවසක් වුණා අපි දෙන්නටම.

ඔයා...
හැමෝටම වඩා ගොඩාක් සතුටු වුණේ මගේ වෝල් එක දිහා බලලා.,ඒ සතුට  ඔයා මං වෙනුවෙන් ලියලා දාපු වෝල් පෝස්ට් එකෙන් දෝර ගැලුවා.

"උපාදිනම් කීදෙනෙක් ගන්නවද, කොහෙන් කොහෙන් ගන්නවද? 
ඇයි මීට කලින් දැකල නැද්ද ? ( ඉරිසියාවට කියන කතාවක් )
ඒ උනාට අද ඔයාගේ wall එක උපන්දිනය වගේ. . . . 
හැමෝන්ගෙම සතුටේ කොටස්කාරියක් වෙලා ඔයා....
ඔයා මට උගන්නපු විෂයක් නැති උනාට, මම ඔයාට උගන්නපු විෂයයක් නැති උනාට ඔයාගෙන් ජීවිතයට ගත්ත දේවල් ගොඩක් තියනවා, ඔයා තව කෙනෙක් වෙනුවෙන් යමක් කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. සමහර වෙලාවට ඒ වෙනුවට ඔයාට ලැබෙන්නේ හිත රිදීම්.
එත් ඒ ඔක්කොම ඔයා තනියම දරාගෙන ඉන්නවා.
එත් අද ඔයා කරපු දෙවල්වෙනුවෙන් කෘතගුණ දක්වන්න තරම් නිහතමානි අය ඔයා එක්ක ඉන්නවා කියල පේනවා. ඒ ඒගොල්ලන්ට ඔයා තව කෙනෙක් විතරක් නෙමෙයි නිසා. පිරිසිදු හිතින් යමක් කලාට පස්සේ ලබන්න පුළුවන් ලොකුම සතුට දැන් ඔයා විදිනවා ඇති !
දුකක් ආවම ආපහු මේ දිනයට ඇවිල්ලා වෝල් එක බලන්න !

ඔයා තනිවෙලා නැතිබව පෙනේවි! "

පොඩි එකෙක් වගේ හුරතලෙන් එදා ඔයා මාත් එක්ක කතා කරපු දේවල් මට අද වගේ මතකයි....!!!


Saturday, June 15, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - තෙවැනි දිග හැරුම

ඉතිං ඔන්න ඔය විදියට ඔයාගේ ජීවිතේ ආදරෙන් පිරිලා ගතවෙලා යද්දි මගේ ජීවිතේ මගේ හිතේ පැල් බැඳ ගත්ත කෙනා ගැන මැවුණු හීන, බලාපොරොත්තු වලින් ගත වෙලා ගියා.

ඒත් එක දවසක් හදිසියෙම...?

අද එතැන් සිට...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

එක දවසක් හදිසියෙම මට ඔයාගෙන් මැසේජ් එකක් ආවා.

"නිරෝශි කියනවා affair එක නවත්තමු ලු "

"ඇයි? හදිසියෙම? "

"ගෙදරින් කැමති නෑ ලු"

පළවෙනි කුණාටුව හැමුවේ ඒ විදියටයි.

"හ්ම්ම්ම්ම්....අපි ටිකක් ඉවසලා බලමුකෝ සමීර,ආදරේ කලේ ඔය දෙන්නමනේ, ඔයාට වගේම එයාටත් ඔයාව ඕන නිසා එයා ගෙදරින් කොහොම හරි කැමත්ත ගනීවි, බය නොවී ඉන්නකෝ ඔයා...."

මට හිත හදන්න පුළුවන් උපරිම විදියට ඔයාගේ හිත හදන්න දේවල් මම කිව්වා...ඒත්, අන්තිමට හරිම දුක්බර විදියට ඒ වසන්තය නිමා වෙලා ගියා.හරියට හොඳට දළු දාගෙන පීදීගෙන ආපු මල් පැළයක් කාගේදෝ පයකට අහු වෙලා පෑගිලා කැඩිලා ගියා වගේ.

ඔයාගේ ඇස් වලින් ලේ ආවේ නැති ටික විතරයි. ඔයා හොඳටම හෙම්බත් වෙනකම් ම ඇඬුවා මිසක් වචනයක් වත් කීවේ නෑ මුලදි.අන්තිමට මට බලා ඉන්න බැරි වුණ තැන් මම දවසක් කෝල් කරලා බැන්නා. 

"මං මැරිලා කියලාද හිතන් ඉන්නේ?, හිතේ දුක හිර කරන් ඉන්න එපා දරුවෝ,කියන්න ඕන දෙයක්, නැත්නම් යාළුවෝ විදියට අපි ඉඳලා මොකටද? "

මං කීවේ එච්චරයි.මහා වැස්සක් එක පාරටම පොළොවට ඇද හැළෙනවා වගේ ඔයා හිත ඇතුළේ හිර කරන් හිටි දුක පිට දැම්මා. මම අහන් හිටිය ඒ සේරම හරිම ඉවසීමෙන්.ඒ දුක ඔයා අද වෙනකනුත් හිර කරන් හිටිය නම් එහෙම නැත්නම් මං ඔයාට ඒක පිට දාන්න කියලා බල නොකලා නම්.......
සමහර විට අද වෙද්දි කාටවත්ම හොයා ගන්න බැරි තරම් දුර ඈතකට ඔයා ගිහින් තියේවි.

ඔයාගෙන් වුණ පුංචි හිත් රිදීම්, දුක් සේරෝම මං අමතක කරලා දැම්මා.ජීවිතේ විඳිනවා නෙවේ ගතවෙන හැම මොහොතක්ම ගානේ විඳවන්නේ අර හිනා වෙලා හිටි පුංචි කොල්ලා නේද කියලා හැමවෙලේම හිතුණා.යාළුවෙක් විදියට කරන්න පුළුවන් හැමදේම කරලා ඔයාගේ හිත හදන්න මං පෙළඹුණේ ඒකයි.
ඔයා හැමදාම හැම මොහොතෙම එක එක විදියට වුණත් කීවේ එකම දේ.දුක අඳුනන්නේ නෑ වගේ රඟපාපු හිතක් ළඟ ඔයා කෑ ගහලා ඇඬුවා.මහා හයියෙන්, පැය ගණන් වචනයක්වත් කතා නොකර අඬපු දවස් ගණන් ඔයා පහු කලා.මට ඇහෙන්න විතරක් අඬපු දවස් ඒ අතරේ තිබුණා.

ඔයා නමුත් පිටතට පෙන්නුවේ ඉක්මණට recover වුණා කියලා.ඒ ආදරේ තිබ්බේ සති 2ක් වුණාට අවුරුදු ගාණක් තිස්සේ හංගන් හිටි කඳුළු ඔයාගේ ඇස් දෙකෙන් කඩා වැටුණා.කොච්චර හිනස්සන්න බැරි වුණත් හිනාවෙන්න ඔයාට හිතිලාවත් තිබුණේ නෑ.හූල්ල හූල්ල හැම දාකම පොඩි එකෙක් වගේ අඬපු එක විතරමයි කලේ.

මේ අතරෙදි මගේ හිතේ හිටපු කෙනා ගැන  පුංචි පුංචි බලාපොරොත්තු මගේ හිත ඇතුලේ මෝදු වෙන්න පටන් ගත්තා.ඒත් අනික් පැත්තෙන් මගේ හොඳ යාළුවෙක් වෙච්චි ඔයා මහා දුකක ඉද්දි පොඩ්ඩක් හරි ඔයාගේ හිත හදන්න මම මහන්සි ගත්තා.

ඒ මහන්සිය ඔයාගේ හිත පතුලට දැණුන හැටි කොහොමද කියලා ඔයාම ඔයාගේ වචන වලින් පුළුවන් නම් කියන්න.මොකද මගේ ඒ පුංචි උත්සහය කොයි තරම් දුරට සාර්ථක වුණාද කියන එක දන්නේත්, ඒක හොඳටම දැනුණේත් ඔයාගේ හිතටම විතරක් නිසා.

ජීවිතේ මොනතරම් පුදුමාකාරද?මගේ ජීවිතේ මං පුංචි දේවල් වලින් සතුටු වෙන්න උත්සහ කරද්දි ඔයා හැමවෙලේම හිටියේ ගොඩාක් දුකින්.මගේ යාළුවා දුකින් ඉද්දි හිනාවෙලා සතුටින් ඉන්න තරම් ගල් හිතක් මට තිබුනේ නෑ. ඒත් ඔයා පුළුවන් හැම වෙලේදිම ඔයාගේ කඳුළුත් හංග ගෙන මම හිනා වෙන මොහොතක් ගානේ වින්දා.ඒ වගේම මගේ සතුට මගේ හිනාව මට ලබලා දෙන්න උනන්දු වුණා.දවසින් දවස දළු දාන මගේ බලාපොරොත්තු තව තවත් වැඩි වෙන සිදුවීම් එකිනෙක වෙද්දි මගේ වටේ හිටි හැම කෙනෙක්ම හිතුවේ හැමදේම හොඳින් සිද්ද වේවි කියලා.ඔයා හිතුවෙත් එහෙමයි. 

ඔයාගේ හිත හදන්න මං ගත්තු හැම උත්සාහයක්ම අසාර්ථක වෙලා ඔයා එක තැනකටම වෙලා ඔහෙ බලා ගත්තු අත බලන් හිටියා.ඇත්ත. දුකින් ඉන්න එපා කියලා කියන එක වචන වලට පෙරළනවා තරම් ලේසි පාසු දෙයක් නොවෙන බව මමත් දැනන් හිටියා.අඬන්න එපා, දුකින් ඉන්න එපා කියල කියලම ඔයාගෙන් මම බැණුම් අහලත් තියෙනවා ඇති වෙන්න.ඒත් මොන බැනුම ඇහුවත් මට තරහ ගියේ නෑ.ඒ ඊට වඩා ඔයාගේ හිතේ තිබුන දුක කොයි වගේද කියලා මං තේරුම් ගත්තු නිසා.

ඔහොම ඔයාගේ හිත සනස සනස හිටපු මගේ හිත කඩාගෙන වැටුණු එක දවසක ඔයා ඔයාගේ හැම දුකක්ම මොහොතකට පැත්තකට වීසි කරලා දාලා මාව හොයන් ආවා මගේ හිත හදන්න, මාව වැටෙන්නේ නැතුව නැගිට්ටව ගන්න. 

2013.03.25 
හිතට සෑහෙනම දුකක්, අවිනිශ්චිත බවක් දැණුන දවසක්
හිතට ආපු බලාපොරොත්තුවක් අකමැත්තෙන් වුණත් බිඳලා දාලා පැත්තවත් නොබලා හැරිලා යන්නම කියලා හිතපු මොහොතක හැම වැඩක්ම දාලා ඔයයි, මෙත් නංගියි මාව හොයාගෙන ඇවිත් මගේ හිත හදලා ආයිමත් මගේ හිත බලාපොරොත්තුවෙන් පිරෙව්වා. මෙත් නංගි මාව දැක්කෙත් එදාමයි. ඒත් ලොකු හිතේ බරකින් හිටිය මට ඔයාලා දෙන්නාම දුන්නු සැනසීම නිසා මං ගෙදර ගියේ කොයිතරම් සැහැල්ලුවකින්ද? හිතේ නිදහසකින්ද? ඇත්තටම මං වෙනුවෙන් තියෙන ආදරේ වෙනුවෙන් ඒ වගේ තව කොයිතරම් දේවල් කළාද? 

එහෙම දේවල් මං වෙනුවෙන් කරපු ඔයාගේ හිත මං හොඳටම රිද්දුවා, මමත් කැමති නෑ ඒ දවස මතක් කරන්න, ඒත් ඒක අමතක වෙන්නේ නැති දවසක්.
2013.04.07 
"ඇයි" සහෘද සමූහයේ සාංවත්සරික හමුව යෙදිලා තිබුණා. දවස් ගාණක වෙලේ ඉඳන් chat  එකෙයි messages වලයි හැම call එකකමයි තිබුණේ Get එකට එනවද කියලා අහපු ප්‍රශ්නේ විතරයි. මං පොරොන්දු වුණේ නෑ. මං කීවෙ බලන්නම් කියලා විතරයි. ඒත් එක දවසේ උදේ පාන්දර ඉඳන් එයා මට ඒකට එන්නම කියලා කිව්වා. අන්තිමට උදේ 9ට විතර කිව්වා මං ආවොත් තමා ඔයත් යන්නේ කියලා. මං ඒවෙලෙ පුදුම විදියට අසරණ වුණා. මං යන්නෑම කියලා කොයිතරම් බල කරලා කිව්වත් ඔයා නෙවේ කණකට ගත්තේ, බෑමයි කියලා හිටියා. මුරණ්ඩුවානෙ කොහොමත් ඉතින්. ඔයාගෙ යාළුවො කී දෙනෙක් ඔයාට call කළාද?Messges එව්වද? අන්තිමට 4ට විතර ගිහින් අන්තිමට එතන කාටවත්ම නවත්ත ගන්න බැරි වෙන තරමට ඇඬුවා ඔයා.

අනන්ත වු සෙනේහය....
පපු තුරේ තද කරන්....
ගිණියම්වු කඳුළු කැට....
නෙත් කෙවෙනි මත තියන්....
සීතලට ගුලි ගැහී....
බොල් සුසුම් පා කරන්....
නුඹ උන්නු හැටි....
සිහියට නැඟේ රත්තරන්....

මං දන්නවා එදා ඔයාගේ යාළුවන්ගෙන් මං සෑහෙනම බැණුම් අහන්න ඇති බව. ඒත් මං ඔයාට එනවා කියලා පොරොන්දු වෙලා මඟෑරියෙ නෑ. මං කීවේ බලමු කියලා විතරයි. මං ආවේ නැත්තේත් ඔයාට තවත් ගොඩ ගහන්න තරම් මතක එකතු කරන්න ඕනේ නැති නිසා.

අන්තිමට ඔයාගේ හොඳම යාළුවෙක් (කියලා මං හිතං හිටි කෙනෙක්) මට   තිබුණු දවසෙ රෑ කතා කළා. කථා කරලා කිව්වා, ආයිත් ඔයා එක්ක කථා කරන්න එපා, ඔයා කොච්චර කිව්වත් එක තැනමයි, තේරුම් ගන්නෙ නෑ, ඒ නිසා අතෑරලා දාලා පාඩුවේ ඉන්න කියලා මමත් ඒකට හා කියලා ඔයත් එක්ක පහුවෙනිදා ඉඳන් වචනයක්වත් කථා නොකර ඉන්නයි හැදුවේ.කොටින්ම කියනවනම් මම ඔයාගේ යාළුකම අතෑරලා යන්න හිත හදා ගත්තා එදා.
ඒත්... ඔයා කොහෙද,
කෝල් කරලා කරලා හෙම්බත් වුණ ඔයා මාව contact කරගන්න බැරුව අන්තිමට මේ messge එක එව්වා.

"Can't u talk? 
At least for the last time for god sake "

ඒත් මම answer කළේ නෑ. හිත තද කරං හිටියා. පැය 3 කට විතර පස්සෙ ආයිම  message එකක් ආවා.

"කොහොමද ඔච්චර නපුරු වෙන්නේ?
එක වතාවක් කථා කරන්න ප්ලීස්"

එදා මම uni එකට ගිහින් හිටියේ conference එකකට. කොහොමහරි ගෙදර එද්දි 4.30යි. නොනවත්වා කෑගහන mobile එකෙන් බේරෙන්න silent දැම්මත් වැඩක් වුණේ නෑ.

අන්තිමට බැරිම තැන මං answer කළා ඔයාට.

"හෙලෝ"

"ඇයි මේ?
ඇයි කථා කරන්නැත්තේ?"

හරිම ඉවසීමක් ඒ කටහඬේ තිබුණේ.ඒත් ඒ හිත ගොඩාක් රිදිලා තිබුණා, කෑලි කෑලි වලට බිඳිලා තිබුණා. තිබුණු වේදනාවට තවත් පෝර දැම්මාදෝ කියලාත් මට හිතුණා. හිත හදන්න ඇවිත් මං කරන්නේ බැරි වැඩක් නේද කියලා දැනුණා.

"මට ඇත්තටම ඕනි වුණේ ඔයාගේ යාළුකම හරි මට ඉතුරු වුණ බව පෙන්නන්න. ඔයා එක්ක ඉඳලා photo එකක් ගන්න, ඒකයි මං එන්න කිව්වේ, ඇයි වැරදියට හිතුවේ?"

ඔයා කියාගෙන කියාගෙන යද්දි,
මං නිහඬවම අහන් හිටියා.
අන්තිමට ඔයාම තීන්දුවක් දුන්නා.

"මොනා වුනත් ඔයා මං ගැන හිතුවෙ වැරදියට, ඔයා කළේ වැරැද්දක්"

මං හිතුවා යාළුකම් පළුදු වේවි කියලා එදායින් පස්සෙ.  ඒත්, හැමදාම වගේ අපි දෙන්නගේ බැඳීම තවත් වැඩි වුණා මිසක් දශමෙකින් වත් අඩු වුණේ නෑ. අපි දෙන්නගේ රණ්ඩුවල ප්‍රතිඵලය ඒක තමා.

ඔය විදිහට රණ්ඩු වෙලා අඬලා අඬලා ඉවර වෙලා සාමකාමීව සති 2-3ක් ගත වුණා. සයිබර් සිහින උළෙල 2013- බ්ලොග් ලියන කියවන සහෘදයක් සඳහා වෙන්වුණු පුළුල් අවකාශය අප්‍රේල් 23 වෙනිදා පැවැත්වෙන්න නියමිතව තිබුණා.

"පුළුවන් නම් මේකටවත් එන්න, බ්ලොග් 2ක්ම තියෙනවනේ දැන්"

ඔයා එහෙම කිව්වත් එදත් මට ඒකට සහභාගී වෙන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ.කොහොම වුණත් කලින් තරම් ඔයා මට බල කලෙත් නෑ ඒකට එන්න කියලා.( පස්සේ ඔයාම කිව්වා ආපු නැති එක හොඳයි කියලා, එතන තත්වය අසතුටු දායක පැත්තකට හැරුණු නිසා එක පාරටම ), ඒත් එදා මතක හිටින දවසක් වුණේ මුළු ජීවිතේටම අමතක නොවෙන විදියට අපි දෙන්නම දෙන්නගෙම හිත් හිත රිදව ගත්තු දවසක් බවට එදා පත් වුණු නිසා.

මට තාම ඔයා මට කීව ඒ වචන ටික මතකයි.

"තමුසේ හිතන්න එපා මං තමුසේ එනකම් මගේ ජීවිතේ කාත් එක්කවත් යාළු නොවී තමුසේ වෙනුවෙන්ම විතරක් බලන් ඉඳීවි කියල, එහෙම හිතං ඉන්නවනම් ඒක මහ විහිළුවක්"

එදා හැන්දෑවේ මහ හයියෙන් ඔයා මට එහෙම කෑ ගැහුවේ එදා උදේ සිදු වුණ සිදුවීමක් මුල් කර ගෙන.ඔයාගේ කටහඬ පුරාම ලොකු කලකිරීමක්, වෙහෙසක් රැඳිලා තිබුණ බව මට තේරුණා.

මට හිතුණා...අපි දෙන්නගේ යාළුකම එදායින් ඉවරෙටම ඉවරවෙයි කියලා, ඒ තරමටම අපි දෙන්නගේ හිත් පළුදු වුණා, ඉරි තැලුණා...

ඒත්?