Monday, May 27, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - පළමු දිග හැරුම

හැම තත්පරේම හිත නිවන, හරිම සොඳුරු හැඟීම් වලින් පිරුණු අසීමිත ආදරේකින් ඔයාගේ හිත මේ තරමටම පිරුණේ කොහොමද කියන්න මට නම් හිතා ගන්නත් බැරි තරම්.
ඒ වගේම ඒ තරම් අහිංසක හිතකට මේ වගේ ආදරයක් දෙන්න මට පුළුවන් වුණ එක ගැන මට තියෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්.
"ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා මට දැනෙනවා"
"මේ තරම් ඉක්මණට හැමදේම වෙනස් වුණේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ"
මට නම් තාමත් මේක විස්වාස කරගන්න බැරි තරම්"
ඔයාගේ මේ වචන වල පිරිලා ඉතිරිලා තියෙන සන්තෝසේ මට දැනෙනකොට මට හිතෙනවා ඔයාගේ කඳුළු වලින් පිරිල තිබුණ ලෝකේ ඔයාට සහ මුලින්ම අමතක කරවලා දාලා ඔයාව නැවුම් හැඟීම් වලින් පුරවන්න මට පුළුවන් වුනා නේද කියලා

ආසයි ඒ සුන්දර අතීතයට ගිහින් ඒ ලස්සන අතීතයෙ සුවඳ විඳින්න...ඔයයි මමයි මුලින්ම හම්බුණ දවසේ ඉඳන් අද වෙනකම් සිද්ද වුණ හැම දෙයක්ම හරිම සීරුවට පරිස්සමට අකුරු කරන්න ආසයි මට....ඒ ආයිත් ආයිත් ගළපන අකුරක් අකුරක් ගානේම ඒ ආදරණීය සුවඳ විඳින්න අපි දෙන්නටම එතකොට පුළුවන් වෙන නිසා.


දිනය 2012.07.16, එදා සඳුදාවක්.රත්නපුර බලංගොඩ කියන නගරයේ මැදගංඔය කියන පුංචි ගම්මානයක පිහිටි දුෂ්කර පාසලකට පරිගණක විද්‍යාගාරයක් ලබා දෙන්න සැලසුම් කරපු ව්‍යාපෘතියකට දායක වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා "පරිගනක උදව්"කියන ෆේස්බුක් සමූහය හරහා..... ඇත්තටම එදා සුවිශේෂී දවසක්....ඒ පරිගනක විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවයට මමයි අම්මයි සහභාගී වෙන්න ලක ලෑස්ති වුණා....දවස් කීපෙකට කලින් උත්සවයේ ප්‍රදාන සංවිධායක තුමන් ගෙන් ඇහුවාම ගමනට අඳින්න සුදුසු මොන වගේ ඇඳුමක් ද කියලා සාරියක් අඳින්න කීවනේ....ඉතිං ලා රෝස පාට සාරියක් තෝර ගත්තා අඳින්න..අම්මත් කොහොමත් සාරියක් තමා ගමනට අඳින්න හිතුවේ.

කොහොම හරි අදාල දවස උදා වුණා....පාන්දර 5.30ට නුගේගොඩ හංදියට බස් එක එනවයි කීව නිසා පාන්දර 5.00ට ගෙදරින් පිටත් වුණා....තාත්තත් ආවා මඟට අපිව ඇරලවන්න....අම්මයි මමයි හරියටම 5.30 වෙද්දි නුගේගොඩ හන්දියේ....( අපි එහෙම තමා වෙලාවට වැඩ..හි හි )
බලා ඉන්නවා ඉන්නවා බස් එක ඔහෙ නෑ....6.20යි වෙලාව..දෑස රිදෙනවා පාර බලා ඉඳලා.....යාන්තම් 6.30 වෙද්දි ආවා බස් එක....හරියටම කීව වෙලාවට වඩා පැයක් පරක්කුයි....කමක් නෑ කියලා ඉතිං අපි නැග ගත්තා බස් එකට...එක මූණක් නෑ තිබුණේ අඳුරන...කැලුම් අයියා-ප්‍රධාන සංවිධායක තුමාව විතරයි අඳුරන කෙනෙක්ට හිටියේ....අපි ඉඳ ගත්තට පස්සේ කැලුම් අය්යා දුන්නා බැජ් 2ක් අපි දෙන්නා අතට....."පරිගනක උදව් ප්‍රජා සත්කාර 2012"....ඊට පස්සේ එයා බස් එකටම ඇහෙන්න මාව අඳුන්වලා දුන්නේ නැතැයි....මටත් කට්ටියවම අදුන්වලා දුන්නා....මතකයි නේද? එවෙලෙදිත් ඔයා හිටියේ ඉස්සරහම සීට් එකේ තව අය්යා කෙනෙක් එක්ක.

ඒ අය්යා නම් මාත් එක්ක කථා කලා හැරි හැරී..ඒත් ඔයා නෙවේ බැලුවෙවත්...තියෙන ආඩම්බරකම විතරක්....මං කථා කළෙත් නෑ ඉත්ං....කොහොම හරි ගමන පුරාවටම මං එක වචනයක්වත් හුවමාරු කරගත්තෙ නෑ ඔයා එක්ක...කොහොමින් කොහොම හරි වෙහෙසකාරී වුණත් හිතට ලොකු සතුටක් එකතු කරමින් ඒ ගමන ඒ විදියට නිමා වුණා.

දවස් කීපෙකට පස්සේ face book එකේ request එකක් ඇවිත් මෙන්න "Sameera Rukshan Mendis"ආ...මේ අර ආඩම්බරකාරයා නේද...හ්ම්ම් කමක් නෑ ඇඩ් කරමුකෝ කියලා මං request එක accept කළා....
ඒකට හේතු තිබුණා....අපි ගිය ගමනෙදි ලස්සන මතක සටහන් අපූරුවටම කැමරා කාචයට හසුකරගෙන තිබුණේ මේ පුංචි කොල්ලා, මං ඒ නිසා කලින් මේ නම ටිකක් අහලා පුරුදු වෙලා තිබුණේ

2012 ජූලි 23- Sameera Rukshan Mendis"s Birthday today..
හරියටම ගමන ගිහින් සතියයි.... birthday එකට wish කරන්න හිතුවා wall post එකක් දාලා....
එහෙම හිතලා බලද්දි ආ..මේ ඉන්නෙ on line...ඇයිද මන්දා මට කතා කරලාම wish කරන්න හිතුණා...

"Happy Birthday Sameera" :)

"මේ කවුද? ආ..හරි හරි..මේ මෙයානේ...බොහෝම ස්තූතියි..."

ඕක තමා ඔයා මුලින්ම මාත් එක්ක කතා කරපු වචන ටික..පොඩ්ඩ වෙලාවක් කතා කරලා ඔයා මොකක්ද වැඩකට ගියා. හැබඉ ඒ ටික වෙලාවට ඔයා ඔයාගේ පේජ් එක පවා මට පෙන්නලා තමා ගියේ

දක්ෂයෙක්...!
ඒ ෆොටෝස් බැලුවම මට හිතුණේ එහෙමයි.
දවසෙන් දවස ගෙවිලා ගියා .....හැමදාම වගේ on line හිටපු නිසා හැම දවසකම වචනයක් හරි අපි හුවමාරු කරගත්තා....දවසක් මොකක්ද රස කථාවක් කියන්න තියේ, ඒක චැට් එකින් කියන්න බෑ කියලා මොබයිල් නම්බර් එක ඉල්ලුවා මං ඉතිං දුන්න.
(හැබැයි, ඉල්ලුව පමාවට මං මගේ මොබයිල් නම්බර් එක එහෙම කාටවත්ම දීලා නෑ, ඒත් ඔයා ඉල්ලුව ගමන්ම ඒක මං දුන්නේ ඇයිද කියන එක ඇත්තටම පුදුමයක්)
කොහොමහරි දවසක්  කෝල් කරන්නද කියලා අහලා ඔයා මාත් එක්ක කථා කලා....අනේ හරීම decent කටහඬක් .....මං ඉතිං සුපුරුදු විදියට කාලෙක ඉඳන් අඳුනන යාලුවෙක් එක්ක කතා කරනවා වගේ කතා කලා ඔයා එක්ක....එදා අපි අපේ ෆෝන් වල සල්ලි ඉවර වෙනකම් කත කලේ ෆිල්ම් ගැනයි, ටොරන්ට්  එක ගැනයි අනම් මනම් ටිකක්....
ඊට පස්සේ ඔයා කෝල් කලේ නෑ, ඒත් අපි හැමදාම චැට් කළා....කාලයක් ගෙවිලා යද්දි ඔයා මට ලස්සන සින්දු එව්වා....එක දවසක් ඔයා මට මං එතෙක් අහලා නොතිබුණු ලස්සන තේරුමක් තියෙන සින්දුවක් එව්වා...

"More than a Friend"

ඒ වගේම කතා කරන හැම වේලේම ඔයා කීවා ඔයාගේ හිතේ කෙනෙක් ඉන්නවා කියලා...,මං එතකොට කීවේ මම ඕන support එකක් දෙන්නම් ඒක ගොඩ දාගන්න කියලා...මතකද ඔයාට?

ඔයා කීවේ එයා නංගි කෙනෙක් කියලා විතරයි , එතනින් එහාට ඒ කෙනා ගැන ඔයා මුකුත් මට කීවේ නෑ....

ඔයා "More than a Friend" සින්දුව මට එවපු දවසේ මම කිව්වා, "සමීර, මේ සින්දුවේ lyrics නම් මරු, මේක ඔයාගේ හිතේ ඉන්න කෙනාට යවන්න කියලා...ඒක කියලා ඊලඟ තත්පරේදි මේන්න බොලෙ lyrics ටික එවපි මගෙ චැට් එකට...

"ඈ බොලේ ඇයි මේක මට එව්වේ මෙයා?, ම්ම්ම්ම්ම්..."
මට එක පාරට හිතුණේ එහෙමයි..

"nice lyrics, Sameera"
"ඈ යකෝ තොට මුකුත් තේරුණේ නැද්ද?"
මෙයා අහපි...
"මොකක්ද? "

"නෑ, ඕන නෑ..මුකුත් නෑ..."

ඔයා පළවෙනි ඉඟිය දුන්නේ එහෙමද මන්දා....
ඔහොම කාලයක් ගෙවිල ගියා...

2012.11.26 රෑ 12ත් පහු වෙලා ඔයා චැට් කර කර ඉන්න ගමන් ටික වෙලාවක් නිහඬව ඉඳලා එක පාරට මෙහෙම කිවා ඔයා...

"එහෙනම් මං ඔයාට ඇත්තම කියන්නද? "

"කියන්න සමීර"

"මම ඔයාට කැමතියි"

මාව උඩ ගිහින් බිම වැටුණා...මංගල යෝජනාවක් කරන වෙලාවක්ද බොලේ මේක...එක පාරට මට දෙන්න උත්තරයක් හිතා ගන්න බැරි වුණා....
ඇත්තටම මං මොකක් කියන්න ඇද්ද?