Saturday, June 29, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - සිව්වන දිග හැරුම

මට හිතුණා...අපි දෙන්නගේ යාළුකම එදායින් ඉවරෙටම ඉවරවෙයි කියලා, ඒ තරමටම අපි දෙන්නගේ හිත් පළුදු වුණා, ඉරි තැලුණා...

ඒත්?

අද එතැන් සිට...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඒත්..
ඔයා හැමදාම ඔයාගෙ ඉවසීම මං වෙනුවෙන් එක විදියටම රඳවගෙන හිටියා......එහෙම වුණත් ඔයාගේ සංවේදි හිතට ඒ ඉවසීමේ සීමා මායිම් දරා ගන්න අමාරු වුණ එක මොහොතක ඔයා මටත් රහසේම තීරණය කරලා තිබුණා මගේ යාළුකම අත ඇරලා දාල ආයිත් නො එන්නම යන්න.( ඒක මම දැනගත්තේ මෑතකදී ).අවස්ථා කීපයකදීම ඔයා කීවා යාළුවෙක් විදියට ඉන්න අමාරුයි කියලා.ඒත් මගේ ආත්මාර්ථකාමී හිත ඔයාව යාළුකමින් ඈත් කරලා ඔයාව දාලා යන්න මට ඉඩදුන්නේම නැති හැටි..!! මං දිගින් දිගටම කීවේ හැමදාම හොඳ යාළුවෙක් වෙලා මගේ ලඟින් ඉන්න කියලාමයි.ගොඩාක් අය හිතුවේ මං ඔයාව backup එකක් විදියට පාවිච්චි කරනවා කියලා.ඔයාගේ සමහර (දැන් පළාතකවත් නැති, හොයා ගන්නත් බැරි ) යාළුවෝ සමහරු කියලා තිබුණා. "මල්ලී, මං ඔය වගේ කේස් 1කට 10ක් පෙන්නන්නම් කියලා..ඒ තරම් පටු විදියට සමහර අය මං ගැන හිතුවත්, ඔයාගෙ සමහර යාළුවෝම මාව හරියටම තේරුම් අරන් හිටියා මගේ තුන් හිතකවත් එහෙම අදසක් ඔයා ගැන නෑ කියන එක.

දවසින් දවස ගෙවිලා ගියා.හැමදාකම මම හිටියේ බයෙන්, මගේ හිත බලාපොරොත්තු වෙච්ච කෙනා මට නොලැබේවි කියන බය මගේ හිත ඇතුළේ හොල්මන් කලා., මගේ හිතේ තිබුණ බය අනික් කාටත් වඩා දැනුණේ ඔයාට.මං දන්නේ නෑ ඒක කොහොම දැණුනද කියලා. ඒත් ඔයාට දැනුණා මං ඉන්නෙ මොන තරම් ලොකු පීඩනයකද කියලා.ඔයා මට හැමවේලෙම කීවේ මගේ හිතේ තියෙන දේ ඒ අදාළ කෙනාට කියලා දාන්න, වෙන දෙයක් වෙන්නේ නැතැයි කියලා. ඔයා මටත් වඩා විශ්වාස කළා හැමදේම හොඳින් සිද්දවේවී කියලා.

ඔයා හැමවෙලේම කීවේ,
"බය වෙන්න එපා. එයාට කිසිම හේතුවක් නෑ ඔයාට අකමැති වෙන්න, ඔයා බොරුවට හිත හිත විඳවන්නේ නැතුව ඕක කියලා දාන්න "කියලා.ඔයා වගේම මං වටේ හිටපු හොඳම යාළුවොත් හැමෝම වගේ හිතුවේ එහෙම තමයි. ඒ හැමෝගෙම විශ්වාසයත් එකතු කරන් මම මගේ හිතේ තිබුණ දේ අදාළ කෙනාට ප්‍රකාශ කලා.ඒ මැයි 08 වෙනිදා....
දින 2ක නිහැඬියාවකින් පස්සේ මැයි 10 වෙනිදා එයාගේ උත්තරේ එයා දීලා තිබුණා.

කවුරුවත්ම බලාපොරොත්තු නොවුණ විදියට එයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලා.එයා අසරණ වෙලා ඉන්නේ කියලා තමා කියලා තිබුණේ.එයාගේ ප්‍රථම ප්‍රේමය එයාට අමතක  කරන්න බැරිකම තමා අසරණ වීමට ප්‍රධානම හේතුව විදියට එයා කිව්වේ.මොන හේතුවක් මුල් වුණත් මම තනියෙන්ම මවපු හීන බලාපොරොත්තු වලට ඒ හේතු වලින් සැනසීමක් ලැබුණේ නෑ.ඒ හැමදෙයක්ම කඩාගෙන වැටෙන්න ගත වුණේ බොහොම කෙටි කාලයයීඉත් කාලයක් තිස්සේ හිතට දැනිල තිබුණු හිස් හැඟීමත් එක්ක ලොකූ දුකක් හිතට දැනුණේ නෑ, ඒත් කියාගන්න බැරි තරම් අසරණකමකින් හිත පිරිලා ගියා එයාගේ උත්තරේ දැකලා.පැරදිලා වෙහෙස වෙලා හිටපු මගේ හිතට ඒ උත්තරේ බර වැඩි වුණා.අඬනවද නැද්ද කියලවත් හිතාගන්න බැරි තරමටම හිත පුදුමාකාර විදියට පාළු, මූසල හැඟීමකින් පිරිලා ගියා.

2013.05.13 වෙනිදා....කලින් දවසෙ මෙත් නංගි කෝල් කරලා econ note  එකක් ඉල්ලලා කීවා, ඒ note එක ඔයාට දෙන්න, එයා ඔයාගෙන් ඒක ඉල්ල ගන්නම් කියලා.

ඉත්ං ඒක දෙන්න ඕන නිසා මං උදේ ඔයාව meet වුණා.මට ඕන වුණේ ඔයාට ඒක දීලා එහෙම්ම Galle face ගිහින් තනියෙන්ම ටික වෙලාවක් ගත කරන්න..(වරදවා හිතන්න එපෝ,මුහුදට පනින්න තරම් ඕනකමක් තිබුණේ නෑ ඕං).

පුරුදු විදියටම මාව දැක්ක ගමන් ඔයාට මගේ අමුත්තක් දැණුනා.

"ඇයි? මොකක්ද අවුල? කියන්නකෝ.."

"නෑ, මුකුත් නෑ, මං යන්න ඕන දැන්..."

මං කියද්දි,

"කොහේ යන්නද?

මට  Galle Face ගිහින් ටික වෙලාවක් තනියෙන් ඉන්න ඕන"

මම කිව්ව.

එහෙම කීව ගමන් ඔයාගේ මූණ අමුතු වුණා.

"යන්න දෙන්න බෑ Galle Face නම් කොහොමත්, ඉන්නවා ඔහොම පොඩ්ඩක්"

ඔයා ටිකක් තදින් කියලා මාව නවත්තගත්තා.

එවේලේ ඉඳන් සෑහෙනම වෙලාවක් ලඟින් ඉඳන් මගේ ඔළුව අත ගගා ඔයා මට කීවේ අඬන්න ඕන නම් අඬන්න,හිතේ තරහක් තියේ නම් ඔයාට හරි බැනලා හරි හිත නිදහස් කරගන්න කියලා..ඒත් මං හැඟීම් විරහිතව ඔහේ බලාගත්තු අත බලන් හිටියා. ඒක ඔයාට වාවගන්න බැරි තරම් දුකක් වුණා.ඒ නිසාමයි ඔයා අර විදියට කීවේත්.ඒත් කොච්චර නම් කීවත් මන් ඇඬුවේ නෑ.වැඩිය කතා කලේත් නෑ.අදටත් එදා දවස මෙහෙමවත් මතක් කරනවටවත් ඔයා කැමති නෑ, ඇත්තම කීවොත් මං කැමතිති නෑ. ඒ තරමටම අන්ත අසරණ වුණ දවසක් මගේ ජීවිතේ නැති තරම්.ආදරෙන් පරාද වෙලා අරමුණක් නැතුව ඔහේ බලා ඉන්න වුණ ඒ පැය කීපය මගේ ජීවිතේ මං ගත කරපු අසීරුම පැය කීපය කියල මට අවිවාදයෙන් කියතෑකි.ඒ තරමටම ඒ කඩා වැටිම මගේ හිත පතුලටම කිඳා බැහැලා තිබුණා.

මම පත් වුණු ඒ තත්වය, ඒ අසරණ හැඟීම මට ගොඩක් ආදරේ කල ඔයාට දරාගන්නම බැරි දුකක් වුණා කියලා මට තේරුණේ ඔයා එදා හවස මට එවපු message එක දැක්කම...


"අද ඔයා හිටි විදියයි, කවදා හරි ඔයා මැරුණ දවසට ඉඳියි කියල හිතෙන විදියේ වැඩි වෙනසක් නෑ කෙල්ලේ, ආයිත් මට එහෙම දෙයක් ඔයාගේ මූණෙන් දකින්න ඕන නෑ " 

එදා මට මාව නොපෙණුනාට, මං මාව නොදැක්කට ඔයා මං හිටපු මළානික ස්වරූපය දැකලා ඇද වැටුණු වැටීම ගැන මට ඒ හැම වචනයක් ගානෙම දැනෙන්න ගත්තා.මහා දුකක් දැනුණා මට...එක්කෝ නෑ...තිබ්බ දුක තවත් වැඩි වුණා කීවොත් තමා හරියටම හරි...හ්ම්ම්ම්ම්...

මාස ගාණක වෙලේ ඉඳන් අහිමි වුන ආදරයක් ගැ හූල්ල හූල්ල අඬපු ඔයා, මං ගැනත් ගොඩාක් දුක් වෙන්න පටන් ගත්තම ඇත්තටම මට කර කියා ගන්න දෙයක් නැති වුණා.


ජීවිතේ තීරණ ගනිද්දි "මිනිස්සු" විදියට අපි ගොඩක් හිතලා ගන්න තීරණ තියෙනවා.ආවාට ගියාට ජීවිතේ වැදගත් තීරණ ගන්න බෑ.මම මෙතෙක් කාලයක් යම් යම් තීරණ ගනිද්දි මං ගැන හිතන එක දෙවනුවට තියලා මුලින් අනුන් ගැන හිතලා සමහර අවස්ථාවලදි වැඩ කලේ.විශේෂයෙන්ම ආදරේ  සම්බන්ධව මම මං ගැන නොහිතා තමා මං ආදරේ කරලා විඳෙව්වේ.මගේ හිත එහෙම දිගින් දිගටම කඩා වැටිලා තිබුණු මොහොතක අමාරුවෙන් හිත හදාගෙන මං ආයිමත් දැකින්න උත්සාහ කරපු හීන සේරම බිඳිලා විසිරිලා යද්දි හිතට දැණුනු පරාජය මුසු වුණ, ඒ කාලකන්නි අසරණ හැඟීම යටපත් කර ගන්න මම අපොහොසත් වුණා.ගොඩාක් ලොකු කළකිරීමකින් හිත පිරුණා.ඒ කළකිරිම නැති කර ගන්නේ මොන විදියෙන්ද කියලා, අඩුම තරමෙ මගේ හිත මට හදා ගන්න පුළුවන් වේවි කියලා මට මොහොතකටවත් හිතුනේ නෑ... 

ඒත් ඔයත් මං ගැන හිතලා දුක් විඳින විදිය දැක්කට පස්සේ මට හිතෙන්න ගත්තා, මට තේරුම් යන්න ගත්තා, මට ආදරේ කරන අය මම විඳවද්දි මොන තරම් දුක් විඳිනවා ඇද්ද කියලා.පළවෙනි වතාවට මම මං ගැන හිතන්න ගත්තා.මම මං ගැන හිතන්න ගනිද්දි මට ආදරේ දැනෙන්න ඕන මොන විදියටද, මං බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආදරයක්ද කියලා ටිකින් ටික මට වැටහෙන්න ගත්තා.මම මගේ හිතට ඇහුම්කන් දෙන්න පටන් ගත්තා.මම හොයන්නේ මට ගොඩාක් ආදරෙන්, මාව ගොඩක් හොඳින් බලාගන්න පුළුවන් කෙනෙක් කියන එක, එහෙම ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් ළඟයි මගේ සතුට, මගේ හිනාව රැඳිලා තියෙන්නේ කියන එක මගේ හිත මට හෙමිහිට තේරුම් කරලා දුන්නා.පළවෙනි වතාවට මට ආදරේ කරන කෙනාගේ ආදරය, ඔයාගේ ආදරය මම මගේ හිතටම දැනෙන්න සැලැස්සුවා.එහෙම හිතන්න ගනිද්දි මට නිදහසක් දැණුනා.ලොකු නිදහසක්.ඒ වගේම මට ඇත්තටම ආදරේ  කරන කෙනාට මගේ සතුට මොන තරම් වටිනවද කියන එක මට තේරුම් ගියා.

මං ගොඩාක් කල්පනා කලා. ගොඩක් හිතුවා.....

මට මතක් වුණා එදා, මං අවුලෙන් හිටි වෙලේ ඔයා මට කියපු දේවල්.

"නිලීකා, මේ සින්දුව ටිකක් බලන්න"

මං එයා ෆෝන් එකේ playවෙන්න දාපු video එක දිහා බලාගෙන හිටියා.ඒකේ වාදනය වුණේ Aladin හින්දි ෆිල්ම් එකේ ලස්සන සින්දුවක්.

" You may be...
   just a little bit deewani...
  Thodi todi se crazy....
  but baby...
  YOU ARE THE ONE "

ඒ සින්දුව පසුබිමින් වාදනය වෙද්දි ඔයා හෙමිහිට ඒක මං දිහා බලාගෙන  මිමිණුවා.ඒ මොහොත මගේ හිතේ නොමැකෙන විදියට සටහන් වුණා.

ගොඩාක් කල්පනා කරලා කරලා අන්තිමේදි මං තීරණයකට ආවා.
හැබැයි එහෙම තීරණයකට එන්න මගේ හිත සූදානම් වෙලා හිටියා කියන එක දැනන් හිටියේ මගේ හිත විතරමයි.අඩු තරමේ ඒක ඔයාටවත් ඒක දැනිලා තිබුණේ නෑ.

දිනය මැයි 15 වෙනිදා...
එදා හවස අපි දෙන්නා meet වුණා. එදා අපි මෙත් නංගිව බලන්න යන්න කථා කරන් තිබුණේ.

"Bike එකේ යමුද? " ඔයා ඇහුවා.

"අනේ පොඩි කාලේ ගියාට පස්සේ මං bike වල ගිහින්ම නෑ අය්යෝ,මට බයයි bike වල යන්න, ඇරත් මං ආස නෑ"

මගේ උත්තරේ වුණේ ඒකයි.

ඒත් ඔයාගේ නැවතිල්ලක්ම නැති ඇවිටිල්ලම මාව ඔයාව bike එකට නැග්ගුවා.හැබැයි 1000ක් කොන්දේසි දාල තමා අන්තිමට මං  bike එකේ යන්න කැමති වුණේ.ලොකුම කොන්දේසිය තමා speed එකේ යන්න බෑ, යන්න පුළුවන් උපරිම speed එක 30 km/h කියලා.

එදා තමා පළවෙනි වතාවට මං ඔයාගේ bike එකේ ගිය දවස.
මතකද? එදා යද්දි මං මීටර් එක දිහා බලාගෙනමයි ගියේ.ඔයා විහිළුවට වගේ speed එක වැඩි කරද්දි 
මං කෑ ගැහුව හැටි මතකද ඔයාට? විජේරාම හන්දියට එනකම් ම එහෙමයි.දැන් නම් මතක් වෙද්දිත් හිනහයි.
මෙත් නංගිව හම්බු වෙලා ආපහු එද්දි ඔයා කිව්වෙත් මම තීරණයක් ගන්නකන්. ඔයා කැමති තරං කාලයක් බලාගෙන් ඉන්නම් කියලා.ඒ ගමන පුරාවටම මගේ ඔළුවේ දිගින් දිගටම  කැරකුණේත් මං ගන්න හිතන් හිටපු තීරණය ගැනම තමයි.

කොහොමහරි එදා ආපිට බයික් එකෙ එද්දි ඔයා මගේ අත අරන් ඔයාගේ ඉනෙන් තියාගත්තම මම ආපහු අත ඇදල ගත්තේ නිකම්ම නෙවේ මෙහෙමත් කියාගෙන...
"මේ... මේ.. අපි තාම SET නෑ හරිද ?

අන්න එතනදි තමා පළවෙනි සැරේට බළලා ( අපි දෙන්නගේම සුරතලා..) මල්ලෙන් එළියට පැන්නේ...ඒත් ඉතිං එක්කෙනෙක්ට ඒක තේරුනේ නෑ කියපල්ලකෝ...

ඊට පස්සේ දවසේ, ඒ කියන්නේ 2013.05.16, මගේ ජීවිතේ සුවිශේෂීම දවස උදා වුණා....එදා උදේ පූර්ණිමා (මගේ හොඳම,පරණම යාළුවා වගේ ම මගේ ජීවිතේ වැඩි කාලයක් -අවුරුදු 13ක් තිස්සේ මං ළගින්ම ඉන්න යාළුවා) එක්ක මං මෙත් නංගිට Econ වගයක් කියලා දෙන්න ජ'පුර සරසවියට ගියා.අපි යද්දි එදා හවස එයාට තිබුණු Mid- Term එකට එයා පාඩම් කර කර හිටියේ.අපි යන අතරේ මඟදි බස් එකේදි මගේ ෆෝන් එකට message එකක් ආවා uni එකේ යාළුවෙක් ගෙන්.

"අද Final results එන කථාවක් තියෙනවා"


මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා.හිතේ විශ්වාසයක් තිබුණත් ඇති වුණ චකිතය නිසා හිත ටිකක් විතර බය වෙලා තිබුණේ.මොන වගේ අවසාන ප්‍රතිඵලයක් දකින්න ලැබේවිද කියලා.

මෙත් නංගිට අමාරු විෂය කොටස් ටික පැහැදිලි කරලා දීලා මං පූර්ණිමා එක්ක කැම්පස් එක පුරාම ඇවිද්දා.මට ඇත්තටම ඕන වුනා, මං ගත්තු  තීරණය හරිද වැරදිද කියලා කියන එක තහවුරු කර ගන්න.මගේ හිත ගැන හොඳටම දන්න තවත් හිතක සහය එවේලෙ මට හොඳටම අවශ්‍ය වුණා.ඒ නිසා මං මගේ හොඳම යාළුවා එක්ක හැමදේම කථා කළා එදා.

"ඔයා ගන්න හිතුව තීරණය වැරදි නෑ, ඒකෙන් කාටවත් අසාධාරණයක් වෙන්නේත් නෑ.ඒත් ඔයා ඔය තීරණය ගන්නවනම් ඔයාට ගොඩක් ප්‍රශ්ණ වලට මූණ දෙන්න වේවි.විශේෂයෙන් ඔයාගේ ගෙදරින්, අම්මයි තාත්තයි කොහොමවත් නම් කැමති වෙන එකක් නැතිවෙයි නිලී, අම්ම කොහොම වෙතත් තාත්තා නම් කැමති වෙන එකක්ම නෑ.
ඒත්, ඔයා ඔය තීරණය ගන්නවනං එන හැම ප්‍රශ්නෙකටම සැලෙන්නේ නැතුව මූණ දෙන්න බලාගෙන  ගන්න, ඔයාට ඕන දේකදි මම ඉන්නවා, බය වෙන්න එපා."


පූර්ණිමා හැමදේම අහන් ඉඳලා කීවේ ඔච්චරයි.මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා.අපි ජ'පුරෙ පැය 2 1/2ක් විතර ඉඳලා මෙත් නංගිට mid term test එකටත් wish කරලා බස් එකට නැග්ගේ මගේ uni එකට යන්න final results ඇවිත් ඇති කියන දෙගිඩියාවත් එක්ක notice board එක බලන්න යන්න කියලා මගේ හිත මාව ඒ දිහාට තල්ලු කළා.
"කැම්පස් එක ළඟ 2ක්"

බස් එකට නැඟලාත් පූර්ණිමා එක්ක දිගටම කථා කර කර ආවේ මගේ තීරණය ගැන.කැම්පස් එක ළඟින් බහින්න හෝල්ට් එකක් කලින් එකපාරටම මට අදහසක් ආවා.

"මේ, අපි  Galle face යමුද? "

ඒ යෝජනාව කටින් පනින ඉක්මණටත් වඩා වැඩි වේගෙන් පූර්ණිමත් ඒකට කැමති වුණා.

"Lake House ගාව 2ක්"

ආයිමත් ඒ බස් එකේම අළුතින් ticket අරං ඒ බස් එකේම අපි Galle Face යන්න පිටත් වුණා.

Galle Face දිහාවට ඇවිදන් ගියත් රැල්ල පාගන්න අපිට බැරි වුණා.එදා Galle Face හලයි තිබුණේ ආරක්ෂක හේතුවක් නිසා.ඈත පේන රැල්ල වෙරළට දූවගෙන ඇවිත් හැපෙන හැටි, පෙණ කැටිති විසිරිලා යන දිහාව බලාන හිටියත් පුදුම සනීපයක් හිතට දැනෙනවා.වෙනදා පුරුද්දට හුඟ වෙලාවක් මං ඒ දිහා කතා නැතිවම බලාගෙනම හිටියා.හිතට දැනුණ සැහැල්ලුව වචන වලින් කියලා නිම කරන්න බෑ.වෙනදා කවදාවත්ම නොදැණුනු තරමේ නිදහසක් දැනුණා.

ටික වේලාවක් Galle Face එකේ ගත කරලා අපි දෙන්නා ආයිමත් uni එකට ආවා. 

"Results දාලාලු, පොඩ්ඩක් චෙක් කරන්නකෝ."

සුමුදු කෝල් කරලා කියද්දි මං හිටියේ College House එක ළඟ.

"හරි, මං  exam branch එකට යන ගමන්,මං බලලා results දාලා තිබ්බොත් කියන්නම් "

ෆෝන් එක cut කරලා මම පූර්ණිමා එක්ක ඉක්මන් ගමණින්  exam branch එක දිහාට ගියා.මගේ හද ගැස්ම මටම ඇහෙන තරම්. බයයි හිතට. කලින් දවසේ මං ඔයා එක්ක කථා කරපුවා එක සීරුවට මතක් වෙන්න ගත්තා.

" results එනවලු, බයයි හලෝ.."

"බය වෙන්නේ මොකටද? ඔයා Batch top නෙහ් ..."

ඔයා හිනා වෙවී කියපු හැටි එක පාරට මතක් වුණා.කොහොමහරි exam branch එකට ගිහින් ඇහුවම 
කීවා මේ දැන් තමා results notice board එකට දැම්මේ කියලා....

එක පිම්මට දිව්වේ notice board එක ළඟට. දාපු ගමන්ම උණු උණුවෙම Results බලපු පළවෙනියා මමයි.


Second Lower Division
S.Y.N.D. Wickramasinghe 

"හ්ම්ම්ම්ම්,class එක නම් බේරිලා, ඒත් lower නෙහ්...
කමක් නෑ. "

හිත යම්තාක් දුරකට සැනසීම ලැබුවා.අම්මාට, තාත්තාට කෝල් කරලා කීවට පස්සේ ඔයාටයි මම කෝල් කලේ. එදා, ඒ මොහොතේ ඉඳන් මං ඔයාට මගේ ජීවිතේ විශේෂ තැනක් දීලයි තිබුණේ.

එවෙලෙ ඉඳන් uni එකට ගිහින් හිටපු කාලෙ අතරතුර ආපු කෝල්ස් වලට answer කරලා ඉවරයක් කරන්න ලැබුණේ නෑ.ඇත්තටම ගොඩාක් සතුටින් හිත පිරිලා ගියා.

ගෙදර ඇවිත් face book log වුණාට පස්සේ මගේ වෝල් එක පිරිලා තිබුණේම ස්තූතිය පළකරපු wall posts වලින්.මගෙන් ලැබුණ පුංචි උදව්ව පවා මතක් කරලා ගොඩාක් අය දක්වලා තිබුණු කෘතවේදීත්වය 
මගේ හිත පුදුමාකාර පහන් හැඟීමකින් පිරෙව්වා.ඒ දවසේ ඒ මොහොත මම තරම් සතුටින් ගෙවපු කෙනෙක් ඇත්තේම නැථුව ඇති කියලා මට හිතුණා.ඒ වගේම මට හිතුණා ඒ සතුටම තවත් කෙනෙකුට ඒ විදියටම දෙන්න, මාස ගාණක් තිස්සේ හිතේ අස්සේම ගුලි කරගෙන පෙරුම් පුරාගෙන එකම ප්‍රාර්ථනාවක් හිතේ තියන් හිටපු අහිංසක හිතක බලාපොරොත්තු නොවුණ මොහොතක ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වුණාම දැන්න පුළුවන් සතුට ඒ කෙනාට ඒ විදියටම දෙන්න මට ඕන වුණා. ඒ සුවිශේෂී දවසේ.එදා මතක හිටින දවසක් වුණා අපි දෙන්නටම.

ඔයා...
හැමෝටම වඩා ගොඩාක් සතුටු වුණේ මගේ වෝල් එක දිහා බලලා.,ඒ සතුට  ඔයා මං වෙනුවෙන් ලියලා දාපු වෝල් පෝස්ට් එකෙන් දෝර ගැලුවා.

"උපාදිනම් කීදෙනෙක් ගන්නවද, කොහෙන් කොහෙන් ගන්නවද? 
ඇයි මීට කලින් දැකල නැද්ද ? ( ඉරිසියාවට කියන කතාවක් )
ඒ උනාට අද ඔයාගේ wall එක උපන්දිනය වගේ. . . . 
හැමෝන්ගෙම සතුටේ කොටස්කාරියක් වෙලා ඔයා....
ඔයා මට උගන්නපු විෂයක් නැති උනාට, මම ඔයාට උගන්නපු විෂයයක් නැති උනාට ඔයාගෙන් ජීවිතයට ගත්ත දේවල් ගොඩක් තියනවා, ඔයා තව කෙනෙක් වෙනුවෙන් යමක් කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. සමහර වෙලාවට ඒ වෙනුවට ඔයාට ලැබෙන්නේ හිත රිදීම්.
එත් ඒ ඔක්කොම ඔයා තනියම දරාගෙන ඉන්නවා.
එත් අද ඔයා කරපු දෙවල්වෙනුවෙන් කෘතගුණ දක්වන්න තරම් නිහතමානි අය ඔයා එක්ක ඉන්නවා කියල පේනවා. ඒ ඒගොල්ලන්ට ඔයා තව කෙනෙක් විතරක් නෙමෙයි නිසා. පිරිසිදු හිතින් යමක් කලාට පස්සේ ලබන්න පුළුවන් ලොකුම සතුට දැන් ඔයා විදිනවා ඇති !
දුකක් ආවම ආපහු මේ දිනයට ඇවිල්ලා වෝල් එක බලන්න !

ඔයා තනිවෙලා නැතිබව පෙනේවි! "

පොඩි එකෙක් වගේ හුරතලෙන් එදා ඔයා මාත් එක්ක කතා කරපු දේවල් මට අද වගේ මතකයි....!!!


Saturday, June 15, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - තෙවැනි දිග හැරුම

ඉතිං ඔන්න ඔය විදියට ඔයාගේ ජීවිතේ ආදරෙන් පිරිලා ගතවෙලා යද්දි මගේ ජීවිතේ මගේ හිතේ පැල් බැඳ ගත්ත කෙනා ගැන මැවුණු හීන, බලාපොරොත්තු වලින් ගත වෙලා ගියා.

ඒත් එක දවසක් හදිසියෙම...?

අද එතැන් සිට...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

එක දවසක් හදිසියෙම මට ඔයාගෙන් මැසේජ් එකක් ආවා.

"නිරෝශි කියනවා affair එක නවත්තමු ලු "

"ඇයි? හදිසියෙම? "

"ගෙදරින් කැමති නෑ ලු"

පළවෙනි කුණාටුව හැමුවේ ඒ විදියටයි.

"හ්ම්ම්ම්ම්....අපි ටිකක් ඉවසලා බලමුකෝ සමීර,ආදරේ කලේ ඔය දෙන්නමනේ, ඔයාට වගේම එයාටත් ඔයාව ඕන නිසා එයා ගෙදරින් කොහොම හරි කැමත්ත ගනීවි, බය නොවී ඉන්නකෝ ඔයා...."

මට හිත හදන්න පුළුවන් උපරිම විදියට ඔයාගේ හිත හදන්න දේවල් මම කිව්වා...ඒත්, අන්තිමට හරිම දුක්බර විදියට ඒ වසන්තය නිමා වෙලා ගියා.හරියට හොඳට දළු දාගෙන පීදීගෙන ආපු මල් පැළයක් කාගේදෝ පයකට අහු වෙලා පෑගිලා කැඩිලා ගියා වගේ.

ඔයාගේ ඇස් වලින් ලේ ආවේ නැති ටික විතරයි. ඔයා හොඳටම හෙම්බත් වෙනකම් ම ඇඬුවා මිසක් වචනයක් වත් කීවේ නෑ මුලදි.අන්තිමට මට බලා ඉන්න බැරි වුණ තැන් මම දවසක් කෝල් කරලා බැන්නා. 

"මං මැරිලා කියලාද හිතන් ඉන්නේ?, හිතේ දුක හිර කරන් ඉන්න එපා දරුවෝ,කියන්න ඕන දෙයක්, නැත්නම් යාළුවෝ විදියට අපි ඉඳලා මොකටද? "

මං කීවේ එච්චරයි.මහා වැස්සක් එක පාරටම පොළොවට ඇද හැළෙනවා වගේ ඔයා හිත ඇතුළේ හිර කරන් හිටි දුක පිට දැම්මා. මම අහන් හිටිය ඒ සේරම හරිම ඉවසීමෙන්.ඒ දුක ඔයා අද වෙනකනුත් හිර කරන් හිටිය නම් එහෙම නැත්නම් මං ඔයාට ඒක පිට දාන්න කියලා බල නොකලා නම්.......
සමහර විට අද වෙද්දි කාටවත්ම හොයා ගන්න බැරි තරම් දුර ඈතකට ඔයා ගිහින් තියේවි.

ඔයාගෙන් වුණ පුංචි හිත් රිදීම්, දුක් සේරෝම මං අමතක කරලා දැම්මා.ජීවිතේ විඳිනවා නෙවේ ගතවෙන හැම මොහොතක්ම ගානේ විඳවන්නේ අර හිනා වෙලා හිටි පුංචි කොල්ලා නේද කියලා හැමවෙලේම හිතුණා.යාළුවෙක් විදියට කරන්න පුළුවන් හැමදේම කරලා ඔයාගේ හිත හදන්න මං පෙළඹුණේ ඒකයි.
ඔයා හැමදාම හැම මොහොතෙම එක එක විදියට වුණත් කීවේ එකම දේ.දුක අඳුනන්නේ නෑ වගේ රඟපාපු හිතක් ළඟ ඔයා කෑ ගහලා ඇඬුවා.මහා හයියෙන්, පැය ගණන් වචනයක්වත් කතා නොකර අඬපු දවස් ගණන් ඔයා පහු කලා.මට ඇහෙන්න විතරක් අඬපු දවස් ඒ අතරේ තිබුණා.

ඔයා නමුත් පිටතට පෙන්නුවේ ඉක්මණට recover වුණා කියලා.ඒ ආදරේ තිබ්බේ සති 2ක් වුණාට අවුරුදු ගාණක් තිස්සේ හංගන් හිටි කඳුළු ඔයාගේ ඇස් දෙකෙන් කඩා වැටුණා.කොච්චර හිනස්සන්න බැරි වුණත් හිනාවෙන්න ඔයාට හිතිලාවත් තිබුණේ නෑ.හූල්ල හූල්ල හැම දාකම පොඩි එකෙක් වගේ අඬපු එක විතරමයි කලේ.

මේ අතරෙදි මගේ හිතේ හිටපු කෙනා ගැන  පුංචි පුංචි බලාපොරොත්තු මගේ හිත ඇතුලේ මෝදු වෙන්න පටන් ගත්තා.ඒත් අනික් පැත්තෙන් මගේ හොඳ යාළුවෙක් වෙච්චි ඔයා මහා දුකක ඉද්දි පොඩ්ඩක් හරි ඔයාගේ හිත හදන්න මම මහන්සි ගත්තා.

ඒ මහන්සිය ඔයාගේ හිත පතුලට දැණුන හැටි කොහොමද කියලා ඔයාම ඔයාගේ වචන වලින් පුළුවන් නම් කියන්න.මොකද මගේ ඒ පුංචි උත්සහය කොයි තරම් දුරට සාර්ථක වුණාද කියන එක දන්නේත්, ඒක හොඳටම දැනුණේත් ඔයාගේ හිතටම විතරක් නිසා.

ජීවිතේ මොනතරම් පුදුමාකාරද?මගේ ජීවිතේ මං පුංචි දේවල් වලින් සතුටු වෙන්න උත්සහ කරද්දි ඔයා හැමවෙලේම හිටියේ ගොඩාක් දුකින්.මගේ යාළුවා දුකින් ඉද්දි හිනාවෙලා සතුටින් ඉන්න තරම් ගල් හිතක් මට තිබුනේ නෑ. ඒත් ඔයා පුළුවන් හැම වෙලේදිම ඔයාගේ කඳුළුත් හංග ගෙන මම හිනා වෙන මොහොතක් ගානේ වින්දා.ඒ වගේම මගේ සතුට මගේ හිනාව මට ලබලා දෙන්න උනන්දු වුණා.දවසින් දවස දළු දාන මගේ බලාපොරොත්තු තව තවත් වැඩි වෙන සිදුවීම් එකිනෙක වෙද්දි මගේ වටේ හිටි හැම කෙනෙක්ම හිතුවේ හැමදේම හොඳින් සිද්ද වේවි කියලා.ඔයා හිතුවෙත් එහෙමයි. 

ඔයාගේ හිත හදන්න මං ගත්තු හැම උත්සාහයක්ම අසාර්ථක වෙලා ඔයා එක තැනකටම වෙලා ඔහෙ බලා ගත්තු අත බලන් හිටියා.ඇත්ත. දුකින් ඉන්න එපා කියලා කියන එක වචන වලට පෙරළනවා තරම් ලේසි පාසු දෙයක් නොවෙන බව මමත් දැනන් හිටියා.අඬන්න එපා, දුකින් ඉන්න එපා කියල කියලම ඔයාගෙන් මම බැණුම් අහලත් තියෙනවා ඇති වෙන්න.ඒත් මොන බැනුම ඇහුවත් මට තරහ ගියේ නෑ.ඒ ඊට වඩා ඔයාගේ හිතේ තිබුන දුක කොයි වගේද කියලා මං තේරුම් ගත්තු නිසා.

ඔහොම ඔයාගේ හිත සනස සනස හිටපු මගේ හිත කඩාගෙන වැටුණු එක දවසක ඔයා ඔයාගේ හැම දුකක්ම මොහොතකට පැත්තකට වීසි කරලා දාලා මාව හොයන් ආවා මගේ හිත හදන්න, මාව වැටෙන්නේ නැතුව නැගිට්ටව ගන්න. 

2013.03.25 
හිතට සෑහෙනම දුකක්, අවිනිශ්චිත බවක් දැණුන දවසක්
හිතට ආපු බලාපොරොත්තුවක් අකමැත්තෙන් වුණත් බිඳලා දාලා පැත්තවත් නොබලා හැරිලා යන්නම කියලා හිතපු මොහොතක හැම වැඩක්ම දාලා ඔයයි, මෙත් නංගියි මාව හොයාගෙන ඇවිත් මගේ හිත හදලා ආයිමත් මගේ හිත බලාපොරොත්තුවෙන් පිරෙව්වා. මෙත් නංගි මාව දැක්කෙත් එදාමයි. ඒත් ලොකු හිතේ බරකින් හිටිය මට ඔයාලා දෙන්නාම දුන්නු සැනසීම නිසා මං ගෙදර ගියේ කොයිතරම් සැහැල්ලුවකින්ද? හිතේ නිදහසකින්ද? ඇත්තටම මං වෙනුවෙන් තියෙන ආදරේ වෙනුවෙන් ඒ වගේ තව කොයිතරම් දේවල් කළාද? 

එහෙම දේවල් මං වෙනුවෙන් කරපු ඔයාගේ හිත මං හොඳටම රිද්දුවා, මමත් කැමති නෑ ඒ දවස මතක් කරන්න, ඒත් ඒක අමතක වෙන්නේ නැති දවසක්.
2013.04.07 
"ඇයි" සහෘද සමූහයේ සාංවත්සරික හමුව යෙදිලා තිබුණා. දවස් ගාණක වෙලේ ඉඳන් chat  එකෙයි messages වලයි හැම call එකකමයි තිබුණේ Get එකට එනවද කියලා අහපු ප්‍රශ්නේ විතරයි. මං පොරොන්දු වුණේ නෑ. මං කීවෙ බලන්නම් කියලා විතරයි. ඒත් එක දවසේ උදේ පාන්දර ඉඳන් එයා මට ඒකට එන්නම කියලා කිව්වා. අන්තිමට උදේ 9ට විතර කිව්වා මං ආවොත් තමා ඔයත් යන්නේ කියලා. මං ඒවෙලෙ පුදුම විදියට අසරණ වුණා. මං යන්නෑම කියලා කොයිතරම් බල කරලා කිව්වත් ඔයා නෙවේ කණකට ගත්තේ, බෑමයි කියලා හිටියා. මුරණ්ඩුවානෙ කොහොමත් ඉතින්. ඔයාගෙ යාළුවො කී දෙනෙක් ඔයාට call කළාද?Messges එව්වද? අන්තිමට 4ට විතර ගිහින් අන්තිමට එතන කාටවත්ම නවත්ත ගන්න බැරි වෙන තරමට ඇඬුවා ඔයා.

අනන්ත වු සෙනේහය....
පපු තුරේ තද කරන්....
ගිණියම්වු කඳුළු කැට....
නෙත් කෙවෙනි මත තියන්....
සීතලට ගුලි ගැහී....
බොල් සුසුම් පා කරන්....
නුඹ උන්නු හැටි....
සිහියට නැඟේ රත්තරන්....

මං දන්නවා එදා ඔයාගේ යාළුවන්ගෙන් මං සෑහෙනම බැණුම් අහන්න ඇති බව. ඒත් මං ඔයාට එනවා කියලා පොරොන්දු වෙලා මඟෑරියෙ නෑ. මං කීවේ බලමු කියලා විතරයි. මං ආවේ නැත්තේත් ඔයාට තවත් ගොඩ ගහන්න තරම් මතක එකතු කරන්න ඕනේ නැති නිසා.

අන්තිමට ඔයාගේ හොඳම යාළුවෙක් (කියලා මං හිතං හිටි කෙනෙක්) මට   තිබුණු දවසෙ රෑ කතා කළා. කථා කරලා කිව්වා, ආයිත් ඔයා එක්ක කථා කරන්න එපා, ඔයා කොච්චර කිව්වත් එක තැනමයි, තේරුම් ගන්නෙ නෑ, ඒ නිසා අතෑරලා දාලා පාඩුවේ ඉන්න කියලා මමත් ඒකට හා කියලා ඔයත් එක්ක පහුවෙනිදා ඉඳන් වචනයක්වත් කථා නොකර ඉන්නයි හැදුවේ.කොටින්ම කියනවනම් මම ඔයාගේ යාළුකම අතෑරලා යන්න හිත හදා ගත්තා එදා.
ඒත්... ඔයා කොහෙද,
කෝල් කරලා කරලා හෙම්බත් වුණ ඔයා මාව contact කරගන්න බැරුව අන්තිමට මේ messge එක එව්වා.

"Can't u talk? 
At least for the last time for god sake "

ඒත් මම answer කළේ නෑ. හිත තද කරං හිටියා. පැය 3 කට විතර පස්සෙ ආයිම  message එකක් ආවා.

"කොහොමද ඔච්චර නපුරු වෙන්නේ?
එක වතාවක් කථා කරන්න ප්ලීස්"

එදා මම uni එකට ගිහින් හිටියේ conference එකකට. කොහොමහරි ගෙදර එද්දි 4.30යි. නොනවත්වා කෑගහන mobile එකෙන් බේරෙන්න silent දැම්මත් වැඩක් වුණේ නෑ.

අන්තිමට බැරිම තැන මං answer කළා ඔයාට.

"හෙලෝ"

"ඇයි මේ?
ඇයි කථා කරන්නැත්තේ?"

හරිම ඉවසීමක් ඒ කටහඬේ තිබුණේ.ඒත් ඒ හිත ගොඩාක් රිදිලා තිබුණා, කෑලි කෑලි වලට බිඳිලා තිබුණා. තිබුණු වේදනාවට තවත් පෝර දැම්මාදෝ කියලාත් මට හිතුණා. හිත හදන්න ඇවිත් මං කරන්නේ බැරි වැඩක් නේද කියලා දැනුණා.

"මට ඇත්තටම ඕනි වුණේ ඔයාගේ යාළුකම හරි මට ඉතුරු වුණ බව පෙන්නන්න. ඔයා එක්ක ඉඳලා photo එකක් ගන්න, ඒකයි මං එන්න කිව්වේ, ඇයි වැරදියට හිතුවේ?"

ඔයා කියාගෙන කියාගෙන යද්දි,
මං නිහඬවම අහන් හිටියා.
අන්තිමට ඔයාම තීන්දුවක් දුන්නා.

"මොනා වුනත් ඔයා මං ගැන හිතුවෙ වැරදියට, ඔයා කළේ වැරැද්දක්"

මං හිතුවා යාළුකම් පළුදු වේවි කියලා එදායින් පස්සෙ.  ඒත්, හැමදාම වගේ අපි දෙන්නගේ බැඳීම තවත් වැඩි වුණා මිසක් දශමෙකින් වත් අඩු වුණේ නෑ. අපි දෙන්නගේ රණ්ඩුවල ප්‍රතිඵලය ඒක තමා.

ඔය විදිහට රණ්ඩු වෙලා අඬලා අඬලා ඉවර වෙලා සාමකාමීව සති 2-3ක් ගත වුණා. සයිබර් සිහින උළෙල 2013- බ්ලොග් ලියන කියවන සහෘදයක් සඳහා වෙන්වුණු පුළුල් අවකාශය අප්‍රේල් 23 වෙනිදා පැවැත්වෙන්න නියමිතව තිබුණා.

"පුළුවන් නම් මේකටවත් එන්න, බ්ලොග් 2ක්ම තියෙනවනේ දැන්"

ඔයා එහෙම කිව්වත් එදත් මට ඒකට සහභාගී වෙන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ.කොහොම වුණත් කලින් තරම් ඔයා මට බල කලෙත් නෑ ඒකට එන්න කියලා.( පස්සේ ඔයාම කිව්වා ආපු නැති එක හොඳයි කියලා, එතන තත්වය අසතුටු දායක පැත්තකට හැරුණු නිසා එක පාරටම ), ඒත් එදා මතක හිටින දවසක් වුණේ මුළු ජීවිතේටම අමතක නොවෙන විදියට අපි දෙන්නම දෙන්නගෙම හිත් හිත රිදව ගත්තු දවසක් බවට එදා පත් වුණු නිසා.

මට තාම ඔයා මට කීව ඒ වචන ටික මතකයි.

"තමුසේ හිතන්න එපා මං තමුසේ එනකම් මගේ ජීවිතේ කාත් එක්කවත් යාළු නොවී තමුසේ වෙනුවෙන්ම විතරක් බලන් ඉඳීවි කියල, එහෙම හිතං ඉන්නවනම් ඒක මහ විහිළුවක්"

එදා හැන්දෑවේ මහ හයියෙන් ඔයා මට එහෙම කෑ ගැහුවේ එදා උදේ සිදු වුණ සිදුවීමක් මුල් කර ගෙන.ඔයාගේ කටහඬ පුරාම ලොකු කලකිරීමක්, වෙහෙසක් රැඳිලා තිබුණ බව මට තේරුණා.

මට හිතුණා...අපි දෙන්නගේ යාළුකම එදායින් ඉවරෙටම ඉවරවෙයි කියලා, ඒ තරමටම අපි දෙන්නගේ හිත් පළුදු වුණා, ඉරි තැලුණා...

ඒත්?



















Saturday, June 1, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - දෙවන දිග හැරුම

2012.11.26 රෑ 12ත් පහු වෙලා ඔයා චැට් කර කර ඉන්න ගමන් ටික වෙලාවක් නිහඬව ඉඳලා එක පාරට මෙහෙම කිවා ඔයා...

"එහෙනම් මං ඔයාට ඇත්තම කියන්නද? "

"කියන්න සමීර"

"මම ඔයාට කැමතියි"

මාව උඩ ගිහින් බිම වැටුණා...මංගල යෝජනාවක් කරන වෙලාවක්ද බොලේ මේක...එක පාරට මට දෙන්න උත්තරයක් හිතා ගන්න බැරි වුණා....
ඇත්තටම මං මොකක් කියන්න ඇද්ද? 
අද එතැන් සිට...
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ම්ම්ම්ම්ම්...මං මොකද කියන්නේ...හිතාගන්න බෑ එකපාරට....
මං හිටිතැනම ගල් වෙලා බලන් හිටියා chat window එක දිහා...
විනාඩි 10ක් විතර ගත වෙන්න ඇති එහෙමම.....

"කියනවකො කැමතිද කියලා....මගේ කකුල් දෙක වයලින් ගහනව වගේ ගැහෙනවා ඕයි "

හ්ම්ම්ම්ම්...දිගු නිහැඬියාවකින් පස්සෙ මං කතා කරන්න වචන ගැළපුවා...

 "පොඩ්ඩක් ඉන්න සමීර, ඔයාගේ හිතේ ඇති වෙලා තියෙන්නේ කැමැත්තක්ද ( crush), ආදරයක්ද කියලා කියන්න මට මුලින්ම හොඳට හිතලා බලලා..."
මම කිව්වා එහෙම....

"කැමතිද නැද්ද කියනවා මුලින්...ඒවා වැඩක් නෑ නෙ.."

ඔයා කීවේ නැතැයි....

"එහෙම කියන්න පුළුවනැයි එක පාරට?
මං හරිම ඉවසීමෙන් කිව්වා....

කොහොමින් කොහොමහරි මගේ උත්තරේ වුණේ "බෑ"කියන එක තමා....ඒකට බලපාපු හේතු තිබුණා....ඇත්තටම මට ඔයා ගැන ආදරයක් තියා ඒ අහලකින් යන හැඟීමක්වත් ඇති වෙලා තිබුණේ නෑ, ඉතින් එහෙම එකේ ගෙදරින් කැමත්ත ගනිද්දිත් ප්‍රශ්ණ එන්න පුළුවන් නිසා ඔය දේවල් සේරමත් සැළකිල්ලට අරන් තමා මම ඒ යෝජනාව හරිම කාරුණිකව ප්‍රතික්ෂේප කලේ....


ඊට පස්සෙ දවස පුරාම ඔයා ඇහුවෙම ඇත්තටම ඔයාට කැමති වෙන්න බැරි හේතුව මොකක්ද කියලාමයි..මම ඒ හැම වතාවකදිම පැහැදිලිව හේතුව කීවා...ඒ වුණත් ඔයාට හිත හදාගන්න හරිම අමාරු වුණා. ඒ හේතුව පිළිගන්න ඔයා සෑහෙන මැළිවුණා....එදා ඔයා යාළුවෝ කට්ටියක් එක්ක කොහෙද ගිහින් හිටියේ. ඒත් වැඩි වෙලා ඔයා එතන නොඉද කවදාවත් නැතුව අපහු හැරිලා එතනින් ආවා...

ඊට පස්සේ ගතවුණු දවස් කීපයෙදි හිතේ තිබුණු කේන්තිය පිට කරගන්න ඔයා ගොඩක් දේවල් කලා...බ්ලොග් පෝස්ට්ස්, කවි, ස්ටේටස් මේ හැම දෙයක්ම ඔයාගේ හිතේ තිබුණ දුක පිට කරගන්න ඔයා පාවිච්චි කලා...'

ඔය කාල සීමාවෙදි තමා මම මගේ facebook account එක deactivate කරලා මගේ බ්ලොග් එකෙනුත් සමු ගන්න 
තීරණය කලේ...ඇත්තටම යම් යම් හිත් රිදීම් නිසා මගේ බ්ලොග් එක මං වහන තීරනය කලත් ඔයා හිතුවේ මන් එහෙම කලෙත් ඔයා නිසා කියලා....හැම දෙයක්ම මං හදිසියෙම මෙහෙම දාලා යන්න හිතපු එක ඔයාට දරාගන්න තවත් අමාරු වුණා...මේ දේවල් මේ විදියට සිද්ද වෙද්දි ඔයා ඒ දේවල් ගැන කොයි තරම් දුක් වුණාද පසු තැවුණද කියලා මං දැනන් හිටියේ නෑ.

ඔහොම දින ගණන්, සති ගණන් වලට පෙරළිලා ඔහේ ගෙවිලා ගියා....ගෙවුණු හැම දිනයක්ම මට නම් සාමාන්‍ය විදියට  ගත වුණත් දැන් හිතෙනවා ඒ ගතවුණු හැම දිනයක්ම ඔයාගේ හිතට මොන තරම් බරක් එකතු කරන්න ඇතිද කියලා....

දිනය 2012.12.11...
මං හිටියෙ university එකේ....10-12 ලෙක්චර් එකට ඉඳලා ඊට පස්සේ දවල් කෑම කන්න ආවා කැන්ටින් එකට...

මොබයිල් එක රිං වෙන්න ගත්තා..හ්ම්ම්ම්ම්...අඳුනන්නේ නැති නම්බර් එකක්..
කමක් නෑ කියලා කෝකටත් ආන්සර් කලා..

"හෙලෝ"

"හෙලෝ, නිලීකාද කතා කරන්නේ? "

"ඔව්"

"මං නිරෝෂි"

"කවුද? " මං ආයෙත් ඇහුවා

"මං නිරෝෂි"

එහා පැත්තෙන් ආයිමත් එහෙම කිව්වා. විදුලි සැර වැදුණා වගේ එක පාරටම යමක් මතක් වෙලා මං ෆෝන් එක එක එක පාරට කට් කලා....

නිරෝෂි, සමීරගේ යාළුවෙක්..ඔෆිස් එකේ එකට වැඩ කරන්නේ..දැන්නෙ මතක් වුණේ..

ඇයි නිරෝෂි හදිස්සියේම මට කතා කරන්නේ?

මං කල්පනා කර කර ඉද්දි ආපහු ඒ නම්බර් එකෙන්ම ආයිමත් කෝල් එකක්..ඕන එකක් කියලා ගත්තා ආයිම..."

"හෙලෝ"

නිලීකා ඔයා තරහින් නෙවේ නේද ඉන්නේ?

"නෑ නෑ කියන්න නිරෝෂි.."

කතා කරන්න පුළුවන්ද මට පොඩ්ඩක්...

"කියන්න "

මං හිතුවත් වගේ නිරෝෂි කීවෙ ඔයා ගැන....මට මතකයි එයා කීවා ඔයා ඉන්නේ හරිම අප්සට් එකෙන් කියලා මං බ්ලොග් එකෙන් ගියාට...හ්ම්ම්ම්ම්...එයා කථා කළේ එයාගේ යාළුවා වෙනුවෙන්...ඒත් මං එයාටත් තත්වය තේරුම් කරල දුන්න...ඒ වගේම නිරෝෂි පොරොන්දු වුණා ඔයාගේ හිත හදන්නම් කියලා...මොනා වුණත් නිරෝෂි එවෙලෙ හොඳ යාළුවෙක් ගෙ යුතුකම ඉෂ්ට කලා...

මං එහෙම කිව්වෙ ගව් ගාණක් දුරකට විසි වෙච්ච අපි දෙන්නගේ දුරස් වුණු බැඳීම ආයිමත් ඒ කෝල් එකෙන් පස්සෙ ටිකක් විතර සමීප වුණ නිසා......දුරකට ගිහින් නිහඬ වෙලා තිබුණු අපේ යාළුකම, සුහද බව ආයිමත් අපේ හිත් හොයාගෙන ආවා....

ඒත් මං නිසා ඇති වුණු ඇති වුණු හිත් රිදීම්, දුක සමහර වෙලාවලදි සියුම් විදියට ඔයා මට වැදෙන විදියට පිට කලා වගේම ඒවා මට වැදිච්චි වෙලාවලුත් නැත්තේ නෑ.ඒත් මම ඔයා හිත රිද්දපු අවස්ථා වෙන් වෙන්ව මතක තියාගන්න උත්සහ කළේ නෑ. ඔයා කියනවා ඔයා නිසා මගේ හිත ගොඩාක් රිදුණලු, මං ඒවා ඉවසීමෙන් විඳ දරා ගත්තලු.

කල් යද්දි මට තේරුම් ගියා ඔයා හොඳ යාළුවෙක් කියන එක.ඔයා මගෙන් දෙන්න බැරි දෙයක් ඉල්ලලා ඒක නොලැබුණාම ඔයාට ඇති වුණු වේදනාවටයි ඔයා සමහර වෙලාවලදි හිත රිදෙන දේවල් කියන්නේ කියල මං තේරුම් අරන් තිබුණේ කලින්ම. ඒ තේරුම් ගැනීම මගේ ඉවසීමට හේතුවක් වෙන්න ඇති....

ඉතිං අපි හරිම සාමාන්‍ය විදියට යාළුවෝ වගේ ආශ්‍රය කලා,කතා බහ කලා.ඔයා හිත හදා ගත්තා වගේ හැඟීමක් මට දැණුනා.
ඔය අතරේ තමා මගේ හිතේ වෙන කෙනෙක් වෙනුවෙන් බලාපොරොත්තු මෝදු වෙන්න ගත්තෙ....දවසෙන් දවස මං ඒ බලාපොරොත්තු, හීන වල ජීවත් වෙන්න පටන් ගත්තා....මං දවසක් ඔයාට කීවා මට  proposal එකක් ආවා කියලා.

ඔහොම ඉතින් දවස් කීපයක් ගතවුණා...

2013.01.09.
බලංගොඩ ගමනෙන් පස්සේ ආයිමත් අපි මුණ ගැහුණා.නිරෝෂි එක්ක කතා කරන්න හිතාගෙන මං එදා ඔයාලගේ ඔෆිස් එකට ආවා.ඒ හවස් වරුව හරිම සතුටින්, සැහැල්ලුවෙන් අපි හැමෝම වින්දා.
ආපහු ගෙදර එද්දි මමයි නිරෝෂියි ආවේ එකට.
අපේ ගෙදරට යන්න තියෙන පාරට හැරෙන තැන නතර වෙලා පැය භාගයකට ආසන්න කාලයක් අපි කතා කලා.

මං කීවෙ මෙච්චරයි.

"නිරෝෂි, ඔයා සමීරගේ හොඳ යාළුවෙක් කියන එක මං හොඳටම තේරුම් ගත්තේ ඔයා එදා මට කෝල් කරපු දවසේ.එයාගේ හිත හදා ගන්න එයාට උදව් කරන්න.කොහොමත් මට එයා ගැන යාළුකමින් එහාට දෙයක් ගැන හිතෙන්නේ නෑ, ඔයාම හිතන්නකෝ එහෙම දෙයක්වත් හිතේ නැතුව ගෙදරින් එයාට අකමැති වුණොත් ඒක වෙනුවෙන් fight කරන්නවත් මට බැරි වුණොත් මට එයාව අතරමඟක දාලා එන්න වෙවි නේද? ඒක කොයි තරම් පව් සිද්දවෙන වැඩක් වේවිද එතකොට?
අනික මම යාන්ත්‍රිකයි කියලා එයාම කියනවා, එහෙම එකේ හැඟීම් දැනීම් නැති කෙනෙක්ට එයා තනියෙන් ආදරය කරන එකේ තේරුමක් තියේවිද? ඒ ටික එයාට තේරුම් කරලා දෙන්න, ඔයාට ගොඩාක් පිං.."

මේ ටික මං නිරෝෂිට කියද්දි වක්‍රකාරයෙන් මං එයාට අඟවපු දෙයක් තිබුණා, ඒ මට ඒ වෙද්දි දැනිලා තිබුණ දෙයක් නිසා.මං එයාට ව්‍යංගයෙන් කිවේ කවදාහරි සමීර සම්බන්ධව එයා තීරණයක් ගන්න හිතන් ඉන්නවනම් ගොඩාක් හිතලා බලලා ඒ තීරණේ ගන්න කියලා, කොටින්ම කීවොත් fight කරන්න පුළුවන්නම් විතරක් ගන්න තීරණයක් ගන්න කියලා තමා මං වටෙන් වුණත් කීවේ...

එදා එහෙම කියලා මං නිරෝෂි ගෙන් සමු ගත්තා.ඊට පස්සේ මම අනුමාන කරපු විදියටම නිරෝෂි -සමීර ගොඩක් ළං වුණා...මම හිතපු විදියටම ඒ දේ සිද්ද වුණා වගේම සමීරට ඇත්තටම ආදරේ ලැබීගෙන එනවා කියන හැඟීමත් එක්ක මං ගොඩක් සන්තෝස වුණා.

එක දවසක් හවසක ඔයා මට Chat එකෙදි කීවා.ඔයාලා දෙන්නා යාළු වුණා කියලා.ඒ කීවෙ ආදරේ කරන්න පටන් ගත්තා කියලා.ඇත්තටම එදා මං ගොඩාක් සතුටු වුණා, මට හිතුණා ඔයාට හරියටම ආදරේ විඳින්න ලැබුණා කියලා, හදවතින්ම මං සුබ පතන ගමන්ම කිව්වා මගෙන් වෙන්න තියෙන ඕන උදව්වක් කරන්නම් කියලා ඔයාලා දෙන්නටම.මට පුළුවන් හැටියට.

2013.02.04
සමීර එයාගේ දින පොතේ මෙහෙම අකුරු කරලා තිබුණා

"අද මගේ ජීවිතයෙ ලස්සනම දවසක්....
මගේ ජිවිතය ලස්සන කරනවට ඔයාට ගොඩාක් පින්...
අද හැමදේම බලාගත් නිලීකාටත්,
තරිඳු ( ආපහු ආවටත්)
නෙරංජිටත්, ඉලංකාටත්
ගොඩක් ස්තූතියි!

නිදහස්"ලු" "

ඔව්. ඇත්තටම එදා ලස්සනම ලස්සන දවසක්.මමත් මගේ යාළුවා ඇත්තම කීවොත්- යාලුවෝ දෙන්න වෙනුවෙන් අවංකවම සතුටු වුණ දවසක්.එයාලගේ අහිංසක මුහුණු වල තිබුණු හිනාව, ඒ සතුට හැමදාම නොවෙනස්ව රැඳිලා තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කලා එදා.

ඒත් මගේ හිතේ පුංචි චකිතයක් තිබුණා, මගෙයි සමීරගෙයි යාළුකම නිරෝෂිට ප්‍රශ්නයක් වේවිද කියන එක.මං ඒක සමීරත් එක්ක කතා කල වෙලේදි එයා ඒකට ප්‍රතිචාර දැක්වුවේ "ආදරේ නිසා යාළුකම් නැති කරගන්න බෑ, මම මැරිලා ඉපදුණේ නෑ"කියලා.

ඉතිං ඔන්න ඔය විදියට සමීරගේ ජීවිතේ ආදරෙන් පිරිලා ගතවෙලා යද්දි මගේ ජීවිතේ මගේ හිතේ පැල් බැඳ ගත්ත කෙනා ගැන මැවුණු හීන, බලාපොරොත්තු වලින් ගත වෙලා ගියා.

ඒත් එක දවසක් හදිසියෙම...?