Wednesday, July 10, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ -අනන්තය තෙක් දිග හැරුම


"මේ..

පොඩි එකෙක් වගේ හුරතලෙන් එදා ඔයා මාත් එක්ක කතා කරපු දේවල් මට අද වගේ මතකයි....!!!

අද එතැන් සිට...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

"ආදරෙයි කියනවකෝ...."


"ඉන්නවකො වෙලාව ආවම කියන්නම් සේරටම ඇහෙන්න..."

"අනේ සාම්පල් එකක්වත්...අනේ අනේ...අම්මෝ කැම්පස් උන්ගෙ ගනන්.."

දඟකර කමට ඔයා එහෙම කීවට ඔයා හිතුවේ නෑ මම ඔයාට "ආදරෙයි" කියාවි කියලා.

ඒත් මම කීවා ඔයාට... 

"ආදරෙයි"

"එහෙම බෑ, කනට ඇහෙන්න කියන්න ඕන"

හරි, හෙට ඇවිත් කියන්නම්"

මම පොරොන්දු වුණා එහෙම.

"හෙට ඇවිත් කියන්නම්" කීවම ඔයාගේ හුස්ම මොහොතකට නැවතුණා කීවා, මතකද?
ඇත්තම කීවොත් ඔයා නොහිතූ මොහොතකදි මං කීව ඒ දේවල් විස්වාස කළේ නෑ.එකපාරටම.ඔයා හිතුවේ මගේ face book account එක hack කරලා කියලා, ඒ තරමටම ඔයා හිතපු දේ , ඔයා කාලයක් තිස්සේ ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉඳලා,වෙන කෙනෙකුට පරිත්‍යාග කරලා තමන්ටම දුක් දීගෙන හිත හදාගෙන හිටපු ඒ කාලේ ඉවර වෙලා නොහිතූ, නොපැතූ වෙලාවක තමන් බලාපොරොත්තු වුණ කෙනාම තමන් ළඟට ආවා කීවම ඒක විස්වාස කරගන්න අමාරු වුනා.ඔයාගේ හිත කොයි තරම් සතුටකින් පිරෙන්න ඇද්ද්? ඒ සතුට නොවෙනස්ව අදටත් තීයෙනවා.හැමදාටමත් තියේවි...මට ඒක විස්වාසයි.ජීවිතේ තීරණාත්මක තැනකට ඇවිත් මොන ප්‍රශ්ණෙකට මූණ දෙන්න වුණත් සූදානමින් කොටින්ම කියනවනම් ඕනෑම ප්‍රශ්නයකට ඔළුව කෙලින් තියාගෙන නොසැළී මූණ දෙන්න ධෛර්යය ඇති කරගෙන මං ඔයා ළඟට එන්න තීරණය කලා එදා.ඔයා මගෙන් මුලින්ම කැමතිද කියලා අහපු දවසෙ මගේ හිතේ අහළකවත් නොතිබුණු ධෛර්යය එදා මගේ හිත පුරාම අරක් ගෙන තිබුණා.එදා ඒ දවසෙදි අපි දෙන්නගෙම හිත් වල ඇති වෙච්ච සතුට ඇත්තමයි වචන වලට පෙරළන්න බැරි තරම්...ඒ සතුට,නැවුම් විදියට අදටත් අඩු නැතිව අපි දෙන්නා ළඟම තියෙනවා.

මැයි 17 වෙනිදා උදේ පූර්ණිමා එක්ක මං ඔයාව මුණ ගැහුණා.මේ තීරණේ සම්බන් ධව ගොඩක් ප්‍රශ්න ඒවි කියලා මට පැහැදිලි කලා වගේම ඔයාටත් පැහැදිලිව කියා දෙන්න පූර්ණිමා සෑහෙනම වෙහෙසක් ගත්තා.එවේලේ ඔයා මගේ අත තදින්ම අල්ලගෙන හිටියේ.මොන ප්‍රශ්නේ ආවත් එකට මූණ දෙමු කියලා ඔයාගේ හිත කියනවා මට ඇහුණා....මොනා වුණත් පූර්ණිමා අපෙ ගෙදර තත්වේ ගැන කිවූ කතා අහලා ඔයා සැහෙනම බය වෙලා හිටියේ කියන එක නම් මට හොඳටම තේරුණා. 

එදා හා හා පුරා කියලා ප්‍රථම කිස් එක (නළලට ) දෙන්නද ඇහුවම මං ලැජ්ජාවෙන් මූණ හංග ගත්තු හැටි තාමත් ඔයා මතක් කරන්නේ පුදුම ආදරේකින්.

"දැන්ම එපා කිස් එකක්" මං එහෙම කීවා ලැජ්ජාවෙන්ම.

"හෑ..එහෙනම් කවද්ද දෙන්නේ හත් දෙයියනේ? "

කටත් මහ ලොකුවට ඇරගෙන ඔයා අහපි.

මං ටික වෙලාවක් කල්පනා කරලා...

"ම්ම්ම්ම්...මගේ birthday එක දවසට දෙන්න"

කියල මං කියද්දි..

"අයියෝ සල්ලි..! මදැ‍යි, ඉතිං තව මාස 5ක් හිටපල්ලකෝ..."

අතේ ඇඟිලි වලින් මාස කීයක් තියේද කියලා ගනන් කරලා ඊට පස්සේ බොරුවට මූණත් හපුටු කරන් ඔයා කීව හැටියට මටත් වඩා හයියෙන්ම හිනා ගියේ පූර්ණිමාට.

"නිලී ඔහොම තමා සමීර, හරිනේ දැන් අහ ගත්තනේ...හි හි "

හිනා වෙවීම පූර්ණිමා එහෙම කියද්දි ඔයත් හයියෙන් හිනා වෙනවා දැක්කම මට දැනුණා කාලෙකට පස්සේ කොයි තරම් සැහැල්ලුවක් සතුටක් ඔයාගේ හිත පුරාම ඉතිරිලාද කියලා.

කොහොමෙන් කොහොමහරි මුල්ම කිස් එක එතනදිම දෙන තැනට වැඩ උනා.ඒ වෙලාවෙ ඔයා මගේ අතින් අල්ලලා මාව ඔයා ලගට අරං ඔයත් මට ලංවෙලා සීරුවෙන් නලලට පළවෙනි හාදුව දුන්නා.
ඒ තමයි තාත්තා ඇරෙන්න වෙන කෙනෙක් මගෙ නළලත සිපගත්ත පලවෙනි වතාව..
කොහොමත් පොඩි ළමෙක් වගේ වෙච්ච මට ඒක හුගාක් නැවුම් දෙයක් උනා වගේම හිත පුරාවටම ආදරේ වගේම ලැජ්ජාවකුත් ඇතිවෙලා පුංචි පූස් පැටියෙක් වගේ මම මූණ හංගගත්තා.


එදා හරිම අපූරු දවසක්.ඔයාගේ හිතේ ලොකු හීනයක් තිබුණා propose කරද්දි මං ළඟ දණ ගහලා මගේ අත් දෙක අල්ලගෙන "Can you Love Me ?"කියලා අහන්න...
ඒ හීනේ විදියට ඔයා මට පොඩ්ඩකට ඇස් දෙක වහ ගන්න කියලා ඒ විදියට දන ගහලා මගේ අත් දෙකෙන් අල්ලගෙන හුවා,

"Can you Love Me ?"

මට වුනේ සුපිරිම වැඩක්, වෙලාව කියන්නේ මං එහෙම දෙයක් බලපොරොත්තු නොවුණ නිසාම මට ඔයා කීව දේ හරියට ඇහුනේ නෑ...කෝකටත් කියලා ආයිමත් ඇහුවේ මොකක්ද කියලා ආයිත් පැහැදිලිව අහ ගන්න හිතන් මං අහපි.... 

"මොකක්ද ? " කියලා....

(අදටත් ඔය සිදුවීම මතක් වෙන හැම වෙලෙදිම මට වැදෙන මඩ ප්‍රහාර කෝටියයි අප්පා...)

ඒත්, ඔය සිදුවීම මතක් කර කර ඔයා හිනා වෙන හැම වෙලේම මට ගොඩාක් සතුටුයි...ඒ පුංචිම දේකින්
හරි ඔයාව මහා හයියෙන් හිනා ගස්සවන්න පුළුවන් මටම විතරක් නේද කියලා ඒ හැම මොහොතකම මට දැනෙන නිසා...

හැම මොහොතකම හැම තප්පරේකදිම මගේ පිස්සු වැඩ ඔයාව හිනා ගස්සන්නේ හරිම අපූරු විදියට.ඒ හිනාව ඔයාගේ මූණට ගේන්න තමා මට ඕන වුණේ...මම ඔයාට පොරොන්දු වුණෙත් කවදාවත්ම ඔයාව අඬවන්නේ නෑ කියලා....ඉතිං පුංචි දේටත් ඔයා මහා හයියෙන් හිනා වෙද්දි මට ලෝකෙම දිනුවා වගේ සතුටක් ඇති වෙන්නේ නිහතමානී ආඩම්බරයක් එක්ක.

කම්මල්කරු අත
පිපි සුදු නෙළුමකි.
කිනිහිරියා මල්
දසතම රගදෙති.
රළු අත් මත ඈ
වියැකෙයි බියවී.
සුමුදු වදන් ඇගෙ
වත වට අහුරති.

මේ නිසදැස ඔයා ලීවේ මං වෙනුවෙන් මැයි 18 වෙනිදා, අපි දෙන්නා විතරක්ම ඒ වෙනතෙක් දැනං හිටි 
අපේ ආදරය ගැන අපිට ආදරේ, අපේ ළඟින්ම නොවෙනස්ව හිටපු අයට පුංචි හෝඩුවාවක් දෙන්නයි ඔයා 
මේ පද පේළි ටික ගොණු කලේ, කීවත් වගේම හෙමීට හෙමීට සමහර ළඟම හිටි කට්ටියට අමුත්තක්
දැනෙන්න පටන් අරන් තිබුණා මේ කවිය කියෙව්වට පස්සේ.

මැයි 19 වෙනිදා, "ලාල් හෑගොඩ සර් ගේ ශිෂ්‍යයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයබලන්න මම වෙන් කරලා
තිබුණා. ඒක තිබුණේ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ...මමයි පූර්ණිමයි දෙන්නා උදේ ගිහින් ....එක රස 
වින්දා, ටික වෙලාවක් ඉඳලා පූර්ණිමා ගියාට පස්සෙ ඔයාගේ යාළුවෝ ටික සම්ප්‍රාප්ත වුණා 
එතනට...චමේලි, කසුන් (සත්සර ) , උදිත් මල්ලි කට්ටිය ඇවිත් ටික වෙලාවකින් ඔයා ආවා.අපි විනාඩි 
45ක් වගේ කාලයක් ...එකේ ගත කළා.ඊට පස්සේ අපි කට්ටියම කථා වුණා නිදහස් චතුරස්‍රය පැත්තේ 
යමුයි කියලා.අපි දෙන්නා නිදහස් චතුරස්‍රෙට ගියා අනික් අයට කලින් (බයික් එකේ). කොහොමින් 
කොහොම හරි අනික් අයත් පයින් ඇවිදන් හිමීට ඒ පැත්තට සම්ප්‍රාප්ත වුණයි කියමුකෝ. අපි කට්ටියම ටික වේලාවක් සතුටු සාමීචියේ යෙදිලා නිදහස්ව ඉන්න අතරවාරේදි හදිසියෙම පුංචි ගිරා පැටියෙක් අපි කට්ටිය හිටි තැනින් පාතින් පියාඹාගෙන ගියා.ටිකක් දුරක එළිමහනට පියඹගෙන ගිය ඒ ගිරා පුංචා බිම දිගේ ඇදීලා ගිහින් නතර වුණා.ආයිමත් උඩහට පියඹගන්න තටු ගහන්න තේරුමක් නැතිව අන්ද මන්ද වෙලා අසරණ වුණු ඌව දැකපු කපුටො රංචුවක් වට කරගන්න මාන බලනව දැකපු ඔයා ඉක්මණින් ඒ දිහාවට දුවලා ගියා. ගිරා පුංචා ළඟට ගිය ඔයා ඌව දෝතින්ම වඩා ගත්තේ පුදුම සෙනෙහසකින්.ඔයා ඌව අතට අරං ඌගේ ඔළුව ආදරෙන් අතගෑව හැටියට මට හරිම ආස හිතුණා.අපි දෙන්නම ආදරේ කරන්න පටන් අරගෙන හා හා පුරා කියලා හමුවුණු ප්‍රම වතාවෙදි අපිට මුණ ගැහුණු මේ අපූරුම අමුත්තාව හැමදාටම රැඳෙන විදියට අපි දෙන්නගෙම හිත් වල සුන්දර විදියට සටහන් වුණා. මුලදි ටිකක් විතර ගිරා පුංචාව අතට ගන්න මගේ හිතට පොඩි චකිතයක්, බයක් දැනුණත් මොහොතකින් ඒ බය මඟ ඇරිලා ගියා. ඌ අපි දෙන්නගෙ අත් වලට ඉක්මණටම හුරු වුණා. .ඇත්තටම ඌ හරිම ආදරණීය ගිරා පැටියෙක්.
තටු පැටලිලා හිටි නිසා පියාඹගන්න අමාරු වෙලා හිටපු ගිරා පුංචා අපිත් එක්ක ටික වෙලාවක් ගත කලා.
අපේ අතේ හිටපු ඩිංගට අපි ඌට අන්නාසි කවන්න හැදුවා, බය වෙලා හිටි නිසා ඌ ඒවා නම් කෑවේ
නෑ...වතුර ටිකක් විතරයි බීවේ, වතුර බීවාට පස්සේ ටිකක් විතර පණක් ඇවිත් ඌ ඔයාගේ ඔළුව වටෙ 
ඇවිදින්න ගත්තේ නිකම් සෑහෙන කලක ඉඳන් ඔයාව දන්න අඳුනනවා වගේ...

ඔහොම ටික වෙලාවක් ඉඳලා ගිරා පුංචා එක පාරටම පියාඹලා ගියා එයාගේ පුරුදු නෑදැයෝ 
ගාවට.ඇත්තටම අපිටත් ඕන වුණේ ඌ නිදහසේ පියාඹනවා දකින්න, ඒ, අපි දෙන්නගේම හිත් ඒ නිදහස 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්විඳින නිසා.ඉතිං ඌත් ඒ නිදහස හොයාගෙන ඈතට පියාඹලා යද්දි 
අපි දෙන්නටම ලොකූ සතුටක් දැනුණා.
අපේ "ප්‍රථම හමුවීම" හරිම ලස්සන මතකයන් ගොඩක් අපි දෙන්නගෙ ජීවිතේට එකතු කෙරුවේ ඒ විදියටයි.


හීනයක් ද මේ.... 
නිල් මැණික් දෑස ළං වෙලා...
නෑ ඉතින් අනේ... 
ප්‍රේමයත් ගීතයක් වුණා...
සාගරෙත් දනී...
ආදරෙත් මේඝයක් වුණා...
සත්තමයි අනේ... 
ජීවිතෙත් මහමෙරක් වුණා...
ආදරය කියන්නේ ඇත්තටම පුදුමාකාර ඔසුවක්.මළානික වෙලා තිබුණු මගේ මූණ කවදාවත් නොතිබුණු තරම් ලස්සන හිනාවකින් පිරුණාම මගේ දිළිසෙන ඇස් වලින් හැමෝම දැක්කේ මගේ හිත මොන තරම් සතුටකින් පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවද කියලා, ඒකට හේතුව ඔයා කියලා අමුතුවෙන් කාටවත් කියන්න ඕන වුණෙත් නැති තරම්.පරණ හැමදෙයක්ම අමතක කරලා දාලා පරාජිත සිතුවිලි, හිත් රිදීම් හිතින් අතුගාලා ම දාලා අළුතෙන්ම..ඔව් අළුතෙන්ම ඉපදුණා වගේ හැඟීමකින් හිත පිරීලා ගියා, නැවුම් සිතුවිලි හිත පුරාම ඉහිරුණා. 


අවපැහැ ගැන්වෙලා තිබුණු මගේ මූණ ටිකෙන් ටික පැහැපත් වෙන්න ගත්තාම ඔයාට ඒක ලොකු පුදුමයක් වුණා.හිතේ තිබුණ දුක්, දොම්නස් හැමදේම අඩු වෙද්දි මූණේ සිද්දවුණු වෙනස්කම් වුණේ ඔයා නිසා කියලා ඔයාට තේරුම් යන්න ගත්තම ඔයාට කොච්චර සතුටු හිතුණද කියලා මට දැනුණා. කාලයක් තිස්සේම අඬ අඬ හූල්ල හූල්ල හිටපු ඔයා ඒ හැම අඳුරු මතකයක්ම අමතක කරලා හදවතින්ම හිනා වෙන්න ගත්තා. යටපත් වෙලා, හැංගිලා තිබුණ ඒ දගකාරකම ආයිමත් ඔයාගෙන් පේන්න ගත්තා.හැම දවසක්ම නැවුම් විදියට පටන් ගන්න බව අපි දෙන්නටම දැනෙන්න ගත්තා.ඇත්තම කිව්වොත් ජීවත් වෙනවා කියලා අපි දෙන්නටම දැනෙන්න ගත්තා. ඔයා හිතන් හිටියේ කාලයක් යනකම්ම ඔයාට ගහකට, ගලකට ආදරේ කරන්න වෙයි කියලා. ඒත් නොහිතූ විදියට ඔයාගේ ආදරේ මාව වෙනස් කලා.ඔයාගෙම වචන වලින් කියනවනම් "පොල්ලෙන් ගැහුවා වගේ "මම ඔයාට මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් ගත්තා.ඔයාට ඒක විස්වාස කර ගන්නත් අමාරු වුණා.
"ඇත්තටම මාරයි, ඔයාව මට ලැබුණා කියලා විස්වාස කරගන්නත් අමාරුයි"
ඔයාගේ දිලිසෙන ඇස්, ඒ හිත හැමතිස්සෙම කීවේ එහෙමයි. හැමදාම නැවුම් සුවඳින් පිරෙන අපේ ආදර කථාවට අද වෙද්දි මාස දෙකකුත් පිරෙන්න ළං වෙලා.ඒත් මුල්ම දවසෙදි අපි දෙන්නගෙම හිත් වලට දැනුණු නැවුම් හැඟීම තව අවුරුදු ගාණක් ගියත් ඒ විදියටම තියේවි. හැමදාටම...ඔව්...හැමදාටමත් තියේවි...
කඳුළු වල සීතල හැඳිනු නෙත...
සුසුම් වල උණුසුම රැඳුණු සිත...
හිනා මල් නිති පුබුදනා හැඩ...
දකින සැමවිට නිවේ මා සිත...
ඉතිං අපේ මේ සුන්දර ජීවිත අත්දැකීම මෙතැන් පටන් අනන්තය තෙක්ම ගලා යාවි....සිනා මල් හැමදාකම පිපෙන්නේ නැති වේවී...

"හැමදා දුක හැමදා සැප නොමැති ලෝකයේ, සිනා නැඟෙයි-කඳුල නැඟෙයි එයයි ජිවිතේ.."

ඒ වුණත්...!!!

තෙරක් නැති කටු පඳුරු, බාධක, ගල් පර පසු කරන් අනන්තය තෙක් ගලා යන ඒ ගමන නොනවතින බව නම් අපි දෙන්නටම විස්වාසයි...!!!!

පසු වදන :


 "රූ වරුණ " ඡායාරුප ප්‍රදර්ශනයේ ඡායරූප එකතුවක් අතර තිබිලා මේ ලඟදි අහම්බෙන් දුටුව ඡායාරූපයක් මේ...අපි ප්‍රදර්ශනයෙ ඉද්දි අපිටත් නොදැනිම අපිව කැමරා කාචයට අපූරුවට හසු වෙලා තිබුණා...ඇත්තෙන්ම හරිම අපූරු ඡායාරූපයක්...අපිව තෙවන ඇසට හසු කර ගනිමින් අපි දෙන්නගෙම අමරණීය ඒ  දවස මේ විදියට  සුන්දර මතක සටහනකට කැටි කළේ ප්‍රදීප් කිරින්දගේ සහෝදරයා...ඉත්ං ප්‍රදීප් සොයුර,ඔබට බෙහෙවින්ම ස්තූතියි..!!!!