Saturday, June 15, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - තෙවැනි දිග හැරුම

ඉතිං ඔන්න ඔය විදියට ඔයාගේ ජීවිතේ ආදරෙන් පිරිලා ගතවෙලා යද්දි මගේ ජීවිතේ මගේ හිතේ පැල් බැඳ ගත්ත කෙනා ගැන මැවුණු හීන, බලාපොරොත්තු වලින් ගත වෙලා ගියා.

ඒත් එක දවසක් හදිසියෙම...?

අද එතැන් සිට...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

එක දවසක් හදිසියෙම මට ඔයාගෙන් මැසේජ් එකක් ආවා.

"නිරෝශි කියනවා affair එක නවත්තමු ලු "

"ඇයි? හදිසියෙම? "

"ගෙදරින් කැමති නෑ ලු"

පළවෙනි කුණාටුව හැමුවේ ඒ විදියටයි.

"හ්ම්ම්ම්ම්....අපි ටිකක් ඉවසලා බලමුකෝ සමීර,ආදරේ කලේ ඔය දෙන්නමනේ, ඔයාට වගේම එයාටත් ඔයාව ඕන නිසා එයා ගෙදරින් කොහොම හරි කැමත්ත ගනීවි, බය නොවී ඉන්නකෝ ඔයා...."

මට හිත හදන්න පුළුවන් උපරිම විදියට ඔයාගේ හිත හදන්න දේවල් මම කිව්වා...ඒත්, අන්තිමට හරිම දුක්බර විදියට ඒ වසන්තය නිමා වෙලා ගියා.හරියට හොඳට දළු දාගෙන පීදීගෙන ආපු මල් පැළයක් කාගේදෝ පයකට අහු වෙලා පෑගිලා කැඩිලා ගියා වගේ.

ඔයාගේ ඇස් වලින් ලේ ආවේ නැති ටික විතරයි. ඔයා හොඳටම හෙම්බත් වෙනකම් ම ඇඬුවා මිසක් වචනයක් වත් කීවේ නෑ මුලදි.අන්තිමට මට බලා ඉන්න බැරි වුණ තැන් මම දවසක් කෝල් කරලා බැන්නා. 

"මං මැරිලා කියලාද හිතන් ඉන්නේ?, හිතේ දුක හිර කරන් ඉන්න එපා දරුවෝ,කියන්න ඕන දෙයක්, නැත්නම් යාළුවෝ විදියට අපි ඉඳලා මොකටද? "

මං කීවේ එච්චරයි.මහා වැස්සක් එක පාරටම පොළොවට ඇද හැළෙනවා වගේ ඔයා හිත ඇතුළේ හිර කරන් හිටි දුක පිට දැම්මා. මම අහන් හිටිය ඒ සේරම හරිම ඉවසීමෙන්.ඒ දුක ඔයා අද වෙනකනුත් හිර කරන් හිටිය නම් එහෙම නැත්නම් මං ඔයාට ඒක පිට දාන්න කියලා බල නොකලා නම්.......
සමහර විට අද වෙද්දි කාටවත්ම හොයා ගන්න බැරි තරම් දුර ඈතකට ඔයා ගිහින් තියේවි.

ඔයාගෙන් වුණ පුංචි හිත් රිදීම්, දුක් සේරෝම මං අමතක කරලා දැම්මා.ජීවිතේ විඳිනවා නෙවේ ගතවෙන හැම මොහොතක්ම ගානේ විඳවන්නේ අර හිනා වෙලා හිටි පුංචි කොල්ලා නේද කියලා හැමවෙලේම හිතුණා.යාළුවෙක් විදියට කරන්න පුළුවන් හැමදේම කරලා ඔයාගේ හිත හදන්න මං පෙළඹුණේ ඒකයි.
ඔයා හැමදාම හැම මොහොතෙම එක එක විදියට වුණත් කීවේ එකම දේ.දුක අඳුනන්නේ නෑ වගේ රඟපාපු හිතක් ළඟ ඔයා කෑ ගහලා ඇඬුවා.මහා හයියෙන්, පැය ගණන් වචනයක්වත් කතා නොකර අඬපු දවස් ගණන් ඔයා පහු කලා.මට ඇහෙන්න විතරක් අඬපු දවස් ඒ අතරේ තිබුණා.

ඔයා නමුත් පිටතට පෙන්නුවේ ඉක්මණට recover වුණා කියලා.ඒ ආදරේ තිබ්බේ සති 2ක් වුණාට අවුරුදු ගාණක් තිස්සේ හංගන් හිටි කඳුළු ඔයාගේ ඇස් දෙකෙන් කඩා වැටුණා.කොච්චර හිනස්සන්න බැරි වුණත් හිනාවෙන්න ඔයාට හිතිලාවත් තිබුණේ නෑ.හූල්ල හූල්ල හැම දාකම පොඩි එකෙක් වගේ අඬපු එක විතරමයි කලේ.

මේ අතරෙදි මගේ හිතේ හිටපු කෙනා ගැන  පුංචි පුංචි බලාපොරොත්තු මගේ හිත ඇතුලේ මෝදු වෙන්න පටන් ගත්තා.ඒත් අනික් පැත්තෙන් මගේ හොඳ යාළුවෙක් වෙච්චි ඔයා මහා දුකක ඉද්දි පොඩ්ඩක් හරි ඔයාගේ හිත හදන්න මම මහන්සි ගත්තා.

ඒ මහන්සිය ඔයාගේ හිත පතුලට දැණුන හැටි කොහොමද කියලා ඔයාම ඔයාගේ වචන වලින් පුළුවන් නම් කියන්න.මොකද මගේ ඒ පුංචි උත්සහය කොයි තරම් දුරට සාර්ථක වුණාද කියන එක දන්නේත්, ඒක හොඳටම දැනුණේත් ඔයාගේ හිතටම විතරක් නිසා.

ජීවිතේ මොනතරම් පුදුමාකාරද?මගේ ජීවිතේ මං පුංචි දේවල් වලින් සතුටු වෙන්න උත්සහ කරද්දි ඔයා හැමවෙලේම හිටියේ ගොඩාක් දුකින්.මගේ යාළුවා දුකින් ඉද්දි හිනාවෙලා සතුටින් ඉන්න තරම් ගල් හිතක් මට තිබුනේ නෑ. ඒත් ඔයා පුළුවන් හැම වෙලේදිම ඔයාගේ කඳුළුත් හංග ගෙන මම හිනා වෙන මොහොතක් ගානේ වින්දා.ඒ වගේම මගේ සතුට මගේ හිනාව මට ලබලා දෙන්න උනන්දු වුණා.දවසින් දවස දළු දාන මගේ බලාපොරොත්තු තව තවත් වැඩි වෙන සිදුවීම් එකිනෙක වෙද්දි මගේ වටේ හිටි හැම කෙනෙක්ම හිතුවේ හැමදේම හොඳින් සිද්ද වේවි කියලා.ඔයා හිතුවෙත් එහෙමයි. 

ඔයාගේ හිත හදන්න මං ගත්තු හැම උත්සාහයක්ම අසාර්ථක වෙලා ඔයා එක තැනකටම වෙලා ඔහෙ බලා ගත්තු අත බලන් හිටියා.ඇත්ත. දුකින් ඉන්න එපා කියලා කියන එක වචන වලට පෙරළනවා තරම් ලේසි පාසු දෙයක් නොවෙන බව මමත් දැනන් හිටියා.අඬන්න එපා, දුකින් ඉන්න එපා කියල කියලම ඔයාගෙන් මම බැණුම් අහලත් තියෙනවා ඇති වෙන්න.ඒත් මොන බැනුම ඇහුවත් මට තරහ ගියේ නෑ.ඒ ඊට වඩා ඔයාගේ හිතේ තිබුන දුක කොයි වගේද කියලා මං තේරුම් ගත්තු නිසා.

ඔහොම ඔයාගේ හිත සනස සනස හිටපු මගේ හිත කඩාගෙන වැටුණු එක දවසක ඔයා ඔයාගේ හැම දුකක්ම මොහොතකට පැත්තකට වීසි කරලා දාලා මාව හොයන් ආවා මගේ හිත හදන්න, මාව වැටෙන්නේ නැතුව නැගිට්ටව ගන්න. 

2013.03.25 
හිතට සෑහෙනම දුකක්, අවිනිශ්චිත බවක් දැණුන දවසක්
හිතට ආපු බලාපොරොත්තුවක් අකමැත්තෙන් වුණත් බිඳලා දාලා පැත්තවත් නොබලා හැරිලා යන්නම කියලා හිතපු මොහොතක හැම වැඩක්ම දාලා ඔයයි, මෙත් නංගියි මාව හොයාගෙන ඇවිත් මගේ හිත හදලා ආයිමත් මගේ හිත බලාපොරොත්තුවෙන් පිරෙව්වා. මෙත් නංගි මාව දැක්කෙත් එදාමයි. ඒත් ලොකු හිතේ බරකින් හිටිය මට ඔයාලා දෙන්නාම දුන්නු සැනසීම නිසා මං ගෙදර ගියේ කොයිතරම් සැහැල්ලුවකින්ද? හිතේ නිදහසකින්ද? ඇත්තටම මං වෙනුවෙන් තියෙන ආදරේ වෙනුවෙන් ඒ වගේ තව කොයිතරම් දේවල් කළාද? 

එහෙම දේවල් මං වෙනුවෙන් කරපු ඔයාගේ හිත මං හොඳටම රිද්දුවා, මමත් කැමති නෑ ඒ දවස මතක් කරන්න, ඒත් ඒක අමතක වෙන්නේ නැති දවසක්.
2013.04.07 
"ඇයි" සහෘද සමූහයේ සාංවත්සරික හමුව යෙදිලා තිබුණා. දවස් ගාණක වෙලේ ඉඳන් chat  එකෙයි messages වලයි හැම call එකකමයි තිබුණේ Get එකට එනවද කියලා අහපු ප්‍රශ්නේ විතරයි. මං පොරොන්දු වුණේ නෑ. මං කීවෙ බලන්නම් කියලා විතරයි. ඒත් එක දවසේ උදේ පාන්දර ඉඳන් එයා මට ඒකට එන්නම කියලා කිව්වා. අන්තිමට උදේ 9ට විතර කිව්වා මං ආවොත් තමා ඔයත් යන්නේ කියලා. මං ඒවෙලෙ පුදුම විදියට අසරණ වුණා. මං යන්නෑම කියලා කොයිතරම් බල කරලා කිව්වත් ඔයා නෙවේ කණකට ගත්තේ, බෑමයි කියලා හිටියා. මුරණ්ඩුවානෙ කොහොමත් ඉතින්. ඔයාගෙ යාළුවො කී දෙනෙක් ඔයාට call කළාද?Messges එව්වද? අන්තිමට 4ට විතර ගිහින් අන්තිමට එතන කාටවත්ම නවත්ත ගන්න බැරි වෙන තරමට ඇඬුවා ඔයා.

අනන්ත වු සෙනේහය....
පපු තුරේ තද කරන්....
ගිණියම්වු කඳුළු කැට....
නෙත් කෙවෙනි මත තියන්....
සීතලට ගුලි ගැහී....
බොල් සුසුම් පා කරන්....
නුඹ උන්නු හැටි....
සිහියට නැඟේ රත්තරන්....

මං දන්නවා එදා ඔයාගේ යාළුවන්ගෙන් මං සෑහෙනම බැණුම් අහන්න ඇති බව. ඒත් මං ඔයාට එනවා කියලා පොරොන්දු වෙලා මඟෑරියෙ නෑ. මං කීවේ බලමු කියලා විතරයි. මං ආවේ නැත්තේත් ඔයාට තවත් ගොඩ ගහන්න තරම් මතක එකතු කරන්න ඕනේ නැති නිසා.

අන්තිමට ඔයාගේ හොඳම යාළුවෙක් (කියලා මං හිතං හිටි කෙනෙක්) මට   තිබුණු දවසෙ රෑ කතා කළා. කථා කරලා කිව්වා, ආයිත් ඔයා එක්ක කථා කරන්න එපා, ඔයා කොච්චර කිව්වත් එක තැනමයි, තේරුම් ගන්නෙ නෑ, ඒ නිසා අතෑරලා දාලා පාඩුවේ ඉන්න කියලා මමත් ඒකට හා කියලා ඔයත් එක්ක පහුවෙනිදා ඉඳන් වචනයක්වත් කථා නොකර ඉන්නයි හැදුවේ.කොටින්ම කියනවනම් මම ඔයාගේ යාළුකම අතෑරලා යන්න හිත හදා ගත්තා එදා.
ඒත්... ඔයා කොහෙද,
කෝල් කරලා කරලා හෙම්බත් වුණ ඔයා මාව contact කරගන්න බැරුව අන්තිමට මේ messge එක එව්වා.

"Can't u talk? 
At least for the last time for god sake "

ඒත් මම answer කළේ නෑ. හිත තද කරං හිටියා. පැය 3 කට විතර පස්සෙ ආයිම  message එකක් ආවා.

"කොහොමද ඔච්චර නපුරු වෙන්නේ?
එක වතාවක් කථා කරන්න ප්ලීස්"

එදා මම uni එකට ගිහින් හිටියේ conference එකකට. කොහොමහරි ගෙදර එද්දි 4.30යි. නොනවත්වා කෑගහන mobile එකෙන් බේරෙන්න silent දැම්මත් වැඩක් වුණේ නෑ.

අන්තිමට බැරිම තැන මං answer කළා ඔයාට.

"හෙලෝ"

"ඇයි මේ?
ඇයි කථා කරන්නැත්තේ?"

හරිම ඉවසීමක් ඒ කටහඬේ තිබුණේ.ඒත් ඒ හිත ගොඩාක් රිදිලා තිබුණා, කෑලි කෑලි වලට බිඳිලා තිබුණා. තිබුණු වේදනාවට තවත් පෝර දැම්මාදෝ කියලාත් මට හිතුණා. හිත හදන්න ඇවිත් මං කරන්නේ බැරි වැඩක් නේද කියලා දැනුණා.

"මට ඇත්තටම ඕනි වුණේ ඔයාගේ යාළුකම හරි මට ඉතුරු වුණ බව පෙන්නන්න. ඔයා එක්ක ඉඳලා photo එකක් ගන්න, ඒකයි මං එන්න කිව්වේ, ඇයි වැරදියට හිතුවේ?"

ඔයා කියාගෙන කියාගෙන යද්දි,
මං නිහඬවම අහන් හිටියා.
අන්තිමට ඔයාම තීන්දුවක් දුන්නා.

"මොනා වුනත් ඔයා මං ගැන හිතුවෙ වැරදියට, ඔයා කළේ වැරැද්දක්"

මං හිතුවා යාළුකම් පළුදු වේවි කියලා එදායින් පස්සෙ.  ඒත්, හැමදාම වගේ අපි දෙන්නගේ බැඳීම තවත් වැඩි වුණා මිසක් දශමෙකින් වත් අඩු වුණේ නෑ. අපි දෙන්නගේ රණ්ඩුවල ප්‍රතිඵලය ඒක තමා.

ඔය විදිහට රණ්ඩු වෙලා අඬලා අඬලා ඉවර වෙලා සාමකාමීව සති 2-3ක් ගත වුණා. සයිබර් සිහින උළෙල 2013- බ්ලොග් ලියන කියවන සහෘදයක් සඳහා වෙන්වුණු පුළුල් අවකාශය අප්‍රේල් 23 වෙනිදා පැවැත්වෙන්න නියමිතව තිබුණා.

"පුළුවන් නම් මේකටවත් එන්න, බ්ලොග් 2ක්ම තියෙනවනේ දැන්"

ඔයා එහෙම කිව්වත් එදත් මට ඒකට සහභාගී වෙන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ.කොහොම වුණත් කලින් තරම් ඔයා මට බල කලෙත් නෑ ඒකට එන්න කියලා.( පස්සේ ඔයාම කිව්වා ආපු නැති එක හොඳයි කියලා, එතන තත්වය අසතුටු දායක පැත්තකට හැරුණු නිසා එක පාරටම ), ඒත් එදා මතක හිටින දවසක් වුණේ මුළු ජීවිතේටම අමතක නොවෙන විදියට අපි දෙන්නම දෙන්නගෙම හිත් හිත රිදව ගත්තු දවසක් බවට එදා පත් වුණු නිසා.

මට තාම ඔයා මට කීව ඒ වචන ටික මතකයි.

"තමුසේ හිතන්න එපා මං තමුසේ එනකම් මගේ ජීවිතේ කාත් එක්කවත් යාළු නොවී තමුසේ වෙනුවෙන්ම විතරක් බලන් ඉඳීවි කියල, එහෙම හිතං ඉන්නවනම් ඒක මහ විහිළුවක්"

එදා හැන්දෑවේ මහ හයියෙන් ඔයා මට එහෙම කෑ ගැහුවේ එදා උදේ සිදු වුණ සිදුවීමක් මුල් කර ගෙන.ඔයාගේ කටහඬ පුරාම ලොකු කලකිරීමක්, වෙහෙසක් රැඳිලා තිබුණ බව මට තේරුණා.

මට හිතුණා...අපි දෙන්නගේ යාළුකම එදායින් ඉවරෙටම ඉවරවෙයි කියලා, ඒ තරමටම අපි දෙන්නගේ හිත් පළුදු වුණා, ඉරි තැලුණා...

ඒත්?



















7 comments:

  1. සමීරයා මං තෝව මරණවා
    &
    අක්කේ වර්ඩ් වෙරිෆිකේෂන් මල ඇණයක්.ඒකයි සේරම කියවලා අන්තිම එකට කමෙන්ට් එකක් දාන්නේ

    ReplyDelete
    Replies
    1. ඕන් මල්ලියේ ... අයින් කළෝ....
      කමක් නෑ එදා 4ට හරි ආවනෙ...සමාව දියං බං...:D

      Delete
    2. අඩෝ 4ත කලින් ආවා බන්.......
      මේකිව අල්ල ගනින්. ඔක්කොම කරන්නේ ඕකි තමයි

      Delete
  2. මමත් මාස ගානක්ම ෆෙස්බුක් එකෙන් අයින් වේලා හිට්යේ..සමීර මට කිහිප දවසක්ම කොල් කරලා කිව්වා..ආයෙත් ෆෙස්බුක් එකට වර කියලා..එත් මම ආවේ නෑ..එත් දවසක් මම ආවා..එත් ඇවිල්ලා සමීර මල්ලිත් එක්ක චැට් කරද්දී වෙනදට වඩා වෙනස් බව තේරුණා... දාන ස්ටේටස් වලින්, සමීර මල්ලීගේ යාළුවෝ කියන දේවල් වලින් මොකක් නමුත් ලොකු ජරමරයක් වෙලා කියලා තේරුණා..එත් යාළුවෙක් විදිහට මම කොහොම උදව් කරන්නද, වේලා තියෙන්නේ මොකක්ද?,වුනේ මොනවද කියලා නොදන්න නිසා මම පැත්තකට වෙලා හිටියා..එත් හිතට මොකක්දෝ වගේ.... යාලුවෙක් වෙලත්,කිසිත් නොකරපු එක... අද තමයි මම මේ බ්ලොග් එක පැත්තේ ආවේ... . දැනුයි පැහැදිලි වුණේ..සිද්ද වුණ දේවල්.. දැන් ඉතින් මට කියන්න තියෙන්නේ.. ඔය දෙන්නගේම ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා කියලා තමයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් වුණා තමා...ඒත් සමහර වෙලාවල් තියෙනවා යාළුවන්ටත් කර කියාගන්න බැරි තරම් අසරණ හැඟීම් එන තමන්ගේ යාළුවා නිසා...අනේ මට මේ වෙලෙදි මුකුත් කර ගන්න බැරි වුණා නේද කියලා, සමීර එක්ක හිටියා තමා... එයගේ දුකත් අහං හිටියා තමා, ඒත් සමහර වෙලාවලදි මම පවා කර කියාගන්න දෙයක් නැති තත්වෙට පත් වෙලා ඔහේ හිටියා චතූ...

      ඒ නිසා ඔයා එහෙම හිතන්න එපා,යාළුකම තියෙන්නේ හදවතේ ගැඹුරුම පතුලක, ඒක වෙනුවෙන් කරන පුළුවන් ඉහළම දේ ඒ යාළුකම හැමදාම නොවෙනස්ව පවත්වා ගැනීමයි....ඔයා හොඳ යාළුවෙක්...හැමදාටම අපිත් එක්ක ඉන්න...ඒක තමා ගොඩාක්ම වටින්නේ....බොහොම ස්තූතියි ඔයාට...

      Delete
  3. කොහෙන් පටන් ගන්නද මංදා.........
    වෙලාවකට තාමත් හීනයක් වගේ දැනෙන්නෙ. ඒ ඇයි කියනවනම් ඔයා මගේ ජීවිතේට ආවෙ නොහිතපු වෙලාවක. කවදවත් ඔයා මගේ නොවේවියි කියල හිතන් හිටියා. ඒත් ආදරේ කලා. ඔයාව දකිද්දි මගේ මූනෙ තියනවයි කියපු ඒ මොකක්දෝ ලස්සන වෙනසම මම ඔයාගෙ මූනෙනුත් දැක්කා ඔයාගෙ හිතේ ඇඳිච්ච කෙනා ගැන කියන හැම වෙලාවකම. ඔයා ගොඩාක් සතුටෙන් කතා කලේ එයා ගැන කියද්දි. ගිරවියක් වගේ, සමහර වෙලාවට ඔයා කියන දේවල් පැහැදිලි නොවෙන තරමටම වචන ගොඩක් එක තප්පරයක් අස්සෙ ගැබ්වෙලා තිබ්බා.ඒ නිසා මම මට පුලුවන් හැම වෙලාවකම ඔයාට ඔයාගෙ හීනයට ලංවෙන්න. එදා මෙත් එක්ක ඔයාව මුනගැහෙන්න ආපු වෙලාවෙ මම කිව්ව අයියට කෝල් එකක් ගන්න කියල. එලියට ආවට පස්සෙ මෙත් ඇහුවා කොහොමද එහෙම කිව්වෙ කියලත්. මට දෙන්න උත්තරේකුත් නෑ, මම විහිලුවෙන් කිව්වා හිත උඩ වාඩිවෙලා කිව්වෙ කියලා.....
    හැම දෙයක්ම හොඳින් උනා. මම ඔයාව එයාටම දීලා හිටියෙ, ඒත් හිත හදාගෙන නෙමෙයි. හිත හදාගත්තෙ ඔය දෙන්නා එක්වුනු දවසක මම ඕගොල්ලන්ගෙන් ඈතට යන්න...............

    ඔයා ගැන තමයි මම මෙහෙම ලිව්වෙත්, ඒත් මොකක්හරි දෙයකට අමනාපෙන් ඉඳිද්දි.......
    http://mamaicamerawai.blogspot.com/2013/03/blog-post.html

    ReplyDelete